කොවිඞ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ද මියයෑමේ වැඩිවීමක් පෙන්නුම් කරන නිසා මෙරට ජනතාවට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් ඩෝස්) ලබාදීම කඩිනමින් සිදු කිරීමට රජය අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කොවිඞ් මර්දනය වෙනුවෙන් ලබාදෙන ඕනෑම එන්නතක් මාස හයක කාලයකට පසු ප්‍රතිදේහ නිපදවීමේ යම් අඩුවක් පෙන්නුම් කරන නිසා පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිය හීනවීම හේතුවෙන් මරණ අනුපාතය ඉහළ යමින් තිබෙන බවද එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවින් ද සොයිසා මහතා පැවසීය.
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට පුද්ගලයන් හත්සියයට අධික පිරිසක් මියයාමත් එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් දෙදහස් එකසිය දහනව දෙනකු මරණයට පත්වීමත් සුළුකොට තැකිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් මියයාම ඉහළ අගයක් පෙන්නුම් කරන නිසා තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් ඩෝස්) ලබාදීම වඩාත් වේගවත්ව කළ යුතුව ඇතැයි ද වෛද්‍ය නවින් ද සොයිසා මහතා පැවසීය.
එන්නත ගැනම පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම මේ මොහොතේ යම් අවදානම් තත්ත්වයක් වී ඇතයි පැවසූ වෛද්‍ය නවින් ද සොයිසා මහතා රජය, විපක්ෂය සහ ජනතාව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කළ යුතු බවද කියා සිටියේය.