ලක්ෂ තිහක් සුවසේ නිදන බොරැල්ල කනත්ත..

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම සොහොන් භූමිය වන බොරැල්ලේ පිහිටි පොදු සුසාන භූමියේ ඉතිහාසය මින් වසර 155 වඩා ඈත අතීතයකට හිමිකම් කියයි. අක්කර 50 පුරා වපසරියකට විහිදුණු බොරැල්ල කනත්ත 1866 වර්ෂයේ ස්ථාපිත වූ අතර පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධයේදී මරණයට පත්වූ සොල්දාදුවන්ගේ මෘත දේහ මිහිදන් කිරීම සිදුකෙරිණි. මේ වන විට බෞද්ධ, හින්දු, කතෝලික හා වෙනත් ආගම්වල ලක්ෂ 30 වැඩි පිරිසක් තම අවසන් නිද්‍රාව සඳහා තෝරාගෙන ඇත. කොළඹ නගරයේ බොරැල්ල, කිරුලපන මහවත්ත හා ජාවත්ත සුසාන භූමි ප්‍රධාන වුවත් සුප්‍රසිද්ධ සොහොන්බිම බොරැල්ල සුසාන භූමියයි. මසකට සාමාන්‍යයෙන් 450 – 500 පමණ පිරිසක් සිය අවසන් නිද්‍රාව සඳහා බොරැල්ල කනත්ත තෝරා ගන්නා බව කොළඹ මහනගර සභා ලේඛන සාක්ෂි දරයි.

අවසන් නින්දට සතර රියනක් ප්‍රමාණවත් බව සුප්‍රසිද්ධ කියමනක් වුවත් අද වන විට මෙම බිමෙහි එම ඉඩ ප්‍රමාණය සොයා ගැනීම ද බෙහෙවින් අපහසු වී ඇත. අතීතයේ විසූවන් සිය අභිමානය පෙන්වීම සඳහා විශාල ප්‍රමාණයේ අලංකාර සොහොන් ඉදිකළ අතර අද වන විට එම සොහොන් කොත් මෙම සුසාන භූමියේ දැනට තියන අක්කර 48න් සැලකිය යුතු ප්‍රමාණයක සදාකාලික හිමිකරුවන් වී ඇත.

බොරැල්ල කනත්තේ වැඩි බිම් ප්‍රමාණයක නිත්‍ය උරුමකරු වන්නේ කොළඹ මහනගර සභාවයි. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි පවසන්නේ බොරැල්ල සුසාන භූමිය තුළ ආදාහනය කිරීම, මිහිදන් කිරීම මියගිය තැනැත්තට කරන ගෞරවයක් සේ ඇතැමුන් සලකන බවයි. දේහයක් තැන්පත් කිරීමට එකල අඩි 4 x9 ප්‍රමාණයේ බිම් කඩක් රු. 15,000 ට ගැනීමට හැකි වුවත් දැන් එම බිම් කඩක් රු. 160,000ක් පමණ මිල වේ. මෙසේ මිල වැඩි කිරීමට කොළඹ මහ නගර සභාව යෝජනා කර ඇත්තේ අැති ඉල්ලුම සීමා කිරීමේ එක් උපක්‍රමයක් ලෙසිනි. අවසන් නිද්‍රාවට ඉඩක් ලබාදීමේ අරමුණින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. ආදාහනය කරන ලද සිරුරුවල අළු භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා කුටීර රැසක් ඇතුළත් විශාල බිත්තියක් ගොඩ නැගීමේ කටයුත්තක් මේ දිනවල කිරුලපන සුසාන භූමියේ ක්‍රියාත්මක වන්නේ බොරැල්ල කනත්තේ ඉඩ ප්‍රමාණවත් නොමැති නිසාය. මෙම කුටීරයක් අඩි 2 x 2 ප්‍රමාණයක් වේ. ගෙවිය යුතු මිල රුපියල් ලක්ෂයකි. කොළඹ කනත්තේ මෙලෙස වෙන්කර ගෙන ඇති සොහොන් වළවල් සඳහා කොළඹ නගර සභාව මගින් ඔප්පු ද නිකුත් කර ඇති අතර එම ඔප්පුවට අනුව පවුලේ අයට එහි හිමිකාරිත්වය පැවරේ. දැනට වසර 15ක පමණ සිට ඔප්පු ලබා නොදෙන්නේ ඉඩකඩ ප්‍රමාණවත් නැති හෙයිනි.

සුවහසක් ජනතාව ආගිය බොරැල්ල කනත්ත මට නම් හුරුපුරුදු තැනකි. පසුගිය වසරේ දණක් උසට කැලෑව වැවී තිබුණු කනත්ත දැන් හොඳින් තණකොළ කපා අලංකාරව මල් වවා ඇත. ඒ අතර ඇතැම් සොහොන් කොත් අතර තබන ලද කෘත්‍රිම මල් කලඹ මෙන්ම රතු රෝස හා දවල් කුමාරිය ස්වභාවික මල් ද පිපී ඇත. කනත්තට ඇතුළු වීමට හා පිටවීමට ප්‍රධාන දොරටු 7ක් පමණ ඇති අතර නිතරම විවෘත වන දොරටු දෙකකි. අනිත්වා විවෘත වන්නේ අවශ්‍ය වූ විටය. මෙහි බෞද්ධ, රෝමානු කතෝලික, ඇන්ග්ලිකන්, පෙන්තකොස්ත ආදී විවිධ ආගම් සඳහා කනත්තේ විවිධ කොටස් වෙන්වී ඇති අතර වැඩිම සොහොන් කොත් දක්නට ඇත්තේ ක්‍රිස්තියානුවන්ගේය. රෝමානු කතෝලික, ඇන්ග්ලිකන්ස් සඳහා අවසාන ගෞරව දැක්වීමට පල්ලිත් බෞද්ධ අයට අවසාන ගෞරව හා ආගමික කටයුතු සඳහා පන්සලක් ද ඇත. ඒ ඒ ආගම්වල අයගේ සිරුරු මිහිදන් කර ඇත්තේ තමන්ගේ ආගම්වලට අදාළ කොටස්වලය. දේශපාලනඥයන්, කලාකරුවන්, සාමාන්‍ය ජනතාව, පූජ්‍ය පක්ෂය, කුඩා දරුවන්ගේ සිරුරු එක් පසෙකය. ඇතැම් කලාකරුවන් , දේශපාලනඥයන්, සමාජ සේවකයන්, ව්‍යාපාරිකයන් වෙනුවෙන් අති විශාල ප්‍රමාණයේ විවිධ හැඩයේ අලංකාර ප්‍රතිමා ඉදිකර තිබෙනු දක්නට ලැබේ. මෙම පිළිරූ සිමෙන්තියෙන්, ගඩොලින්, කළුගලින් හා වෙනත් විසිතුරු ගල් උපයෝගි කරගෙන නිර්මාණය කර ඇත. එම පිළිරූවල ප්‍රමාණය, යොදා ඇති කැටයම් පින්තූර, අකුරු අනුව එක් එක් පිළිම නිම කිරීමට වැයවන මුදල් වෙනස්ය. සමහර පිළිරූ ලක්ෂ 10කට වැඩි මිලක් ගෙවමින් සකසා ඇත.

කොළඹ මහ නගර සභාවෙන් ලබාගත් අවසරය මත මම බොරැල්ල කනත්තේ වැඩ බලන පාලන කළමනාකරු එච්.ඒ.කේ. හිරන්ත හමුවුණෙමි. ඔහු මෙන්ම මෙහි රාජකාරි කරන බොහොමයක් අය සේයාරූවලට පෙනී සිටීමට අකමැති වුවත් තොරතුරු ලබා දුන්හ. හිරන්ත කනත්තේ රාජකාරි කරන්නේ උදේ සිට සවස් වනතුරු පමණි. කනත්තේ විවිධ කටයුතුවල යෙදෙන නගර සභා සේවකයන් 35ක් පමණ සිටියද මේ දිනවල සිටින්නේ කීප දෙනෙක් පමණි. රාත්‍රී සේවයට මුරකරුවන් දෙදෙනෙක් යොදා ඇත. “උදේ 10.00 සිට සවස 6.00 දක්වා මිනී ආදාහන කටයුතු කෙරෙනවා. එක ආදාහනාගාරයක පිච්චිය හැකි ලිප් 4ක් තියනවා. එක මිනියක් පිච්චෙන්න පැය 1 1/2 විතර යනවා. පළමු ලිපට පළමු මිනිය දැම්මට පසු දෙවෙනි මිනිය පැය 1 1/2 පසු දාන්නේ දෙවන ලිපටයි. කොළඹ නගර සභාව තුළ පදිංචිය ග්‍රාම සේවක ලිපියකින් තහවුරු කරන අයට රු. 1,500 ක් ද නගර සභාවෙන් පිට අයට රු. 5,000ක් ද අය කරනවා පුච්චන්න. මේ දවස්වල නම් කොවිඩ් මිනී වැඩි නිසා වැඩිපුර ආදාහන කටයුතු සිදුවෙනවා. මේ සමහර සමරු ඵලකවලට අවුරුද්දකට සැරයක් පවුලේ අය ඇවිත් මල් කලඹ තියලා, ඉටිපන්දම් පත්තු කරලා යනවා.

ඒ හිරන්තගේ හඬය.

කනත්ත සිසාරා සෑම තැනකම පාහේ අර්ථවත් වදන් අඩංගු පුවරු සිංහලෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ගසා තිබෙනු දක්නට ලැබුණි. “යහපත් ආශ්‍රය හා යහපත් කථාව ගුණධර්ම හා තරයේ බැඳේ“. “සියලු සතුන්ගේ ජීවිතය මරණින් කෙළවර කොට ඇත්තේය.“ “ඉවසීම සෑම කරදරයකටම හොඳම සුවයයි“ “ලස්සනට මහලු වන අය ඉතා දුර්ලභය.“ “සෑම දෙයකම සුන්දරත්වයක් ඇත. හැමෝම එය නොදනී.“ “ඔබ ලෝකයෙහි දක්නට කැමති වෙනස සඳහා ඔබ ද වෙනස්විය යුතුය.“ “අත්දැකීම පසුතැවිල්ල වළක්වයි.“ “සෑම උදාර සිතිවිල්ලක්ම පහළ වන්නේ හදවතිනි.“ “නරක ඇසුරට වඩා හුදකලාවීම සුදුසුය.“ “අමරණීය නම් ඔබේ සේවය – අමරණීය වෙයි ඔබේ නාමය“ ඉන් කිහිපයකි.

කලාකරුවන් වෙනුවෙන් ඉදිවුණු සොහොන් කොත් අසල සවිකර තිබුණේ “කලාකරුවෝ යනු පියවි ලොවේ සිහිනවලට එකඟ වන සිහින දකින්නෝය.“ යනුවෙනි. “කලාකරුවා යනු සොබා දහමේ ප්‍රේමවන්තයෝය.“ තවත් පුවරුවක් විය. මහ දවල් ගිනි කූටයේ තනිවම බොරැල්ල කනත්ත සිසාරා සැරිසැරූ මා හට අවසන් නින්දේ සැතපෙන බොහෝ කලාකරුවන්ගේ, දේශපාලනඥයන්ගේ, නීතිඥවරුන්ගේ සොහොන් කොත් හමුවිය. මට මුලින්ම හමුවූයේ ක්ලැරන්ස් විජේවර්ධනගේ පිළිරුවයි. ‘හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු. සඳුගේ රැයේදී යළි හමුවෙමු.‘ ආදි ඔහු විසින් ගැයූ ගී ගල්පුවරුවේ කොටා තිබුණි. සිසිර සේනාරත්න, ඉන්ද්‍රානි සේනාරත්න වෙනුවෙන් එකම කොතක් සාදා ඔවුන්ගේ සේයාරුව යොදා තිබුණි. ‘ගයා ගීතයක් ගමේ වෙල් එළියේ‘ ගීතයේ කොටසක් ද එහි විය. කලාසූරි අරිසෙන් අහුබුදු වෙනුවෙන් කවිපද කොටමින් තරමක් උස් පිළිරුවක් විය. ගුරු පැහැති පැතලි ගල් පුවරුව සකසා තිබුණේ සාහසිකයකුගේ වෙඩි පහරින් මියගිය සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුවරයා වෙනුවෙනි. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා වෙනුවෙන් ධර්මචක්‍රය සහිත ඍජුකෝණාස්‍රාකාර පුවරුවක් සකසා තිබුණි. මිල්ටන් පෙරේරා ගායන ශිල්පියාගේ සොහොන් කොතේ සනිටුහන් වූයේ ගී ලොවේ කඳුළු බිඳුව යනුවෙනි. මාරක කථා චක්‍රවර්ති ඩීමන් ආනන්දගේ ද සේයාරුව සහිත උස් සොහොන් කොතක් විය. ගායක අබේවර්ධන බාලසූරියගේ සොහොන් කොතේ ඔහු වෙනුවෙන් රචනා වූ කවිපද රැසක් විය. මාධ්‍යවේදී සුසිල් ගුණරත්නගේ සමරු ඵලකය පෙරළන ලද පොතක් වැනි විය. මුවන් පැලැස්සෙන් රසික හද දිනූ හඬ රංගවේදී ගැමුණු විජේසූරිය වෙනුවෙන් දිගු කවි පෙළක් කොටා තිබුණි. සිළුමිණ විශේෂාංග ලේඛනයෙන් සැරසූ ධර්මසිරි ගමගේ කලාකරුවාගේ සොහොන් කොතේ වන සේයාරුව සිනාසී බලාසිටින්නා සේය. ඔහුත් බොරැල්ල කනත්ත ගැන සිළුමිණට ලීවා මට මතකය. ගෘහ නිර්මාණ ශිල්පී ඇල්ෆ්‍රඩ් කළුබෝවිල වෙනුවෙන් අලංකාරව ගලේ කෙටූ නිර්මාණයක් විය. එච්.ඩී. ප්‍රේමරත්න සිනමාවේදියා, සිඩ්නි චන්ද්‍රසේකර, අජන්තා රණසිංහගේ පිළිරූ වලට සමීපව ඔසී අබේ අබේගුණසේකර, ප්‍රවීණ චිත්‍ර ශිල්පී පී. වික්‍රමනායක, ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් යන අයවලුන්ගේ සොහොන් කොත් වේ.

කොළඹ පුරපති රත්නසිරි රාජපක්ෂ, ජනාධිපති නීතිඥ ස්ටැන්ලි තිලකරත්න, ලෙස්ලි රණගල යන අයත් කලාකරුන් සමීපයේ අවසන් ගමන් ගොස්ය. පිටුපස ආදාහනාගාරය දක්වා කනත්ත පිවිසුමේ සිට දිවෙන ප්‍රධාන මාර්ගයේ වම් පසෙක ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල වෙනුවෙන් තැනූ කොත දිස්වේ.

ජෝ අබේවික්‍රමයන්ගේ සමරු ඵලකයේ ඔහුව හඳුන්වා තිබුණේ ලාංකේය සිනමා රංග වංශයේ මහාමේරු පර්වතය නමිනි. එච්.ආර්. ජෝතිපාලයන් වෙනුවෙන් තැනූ උස් සොහොන් කොත පුරා ඔහු ගැයූ ගී කොටා තිබුණි. කරුණාරත්න අබේසේකර, එම්.එස්. ආනන්ද, ජයලත් මනෝරත්න, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, ටයිටස් තොටවත්ත, දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස, ආර්.ඒ. චන්ද්‍රසේන, කේ.ඩී.කේ. ධර්මවර්ධන, හේමසිරි හල්පිට, ටී.එම්. සංඝදාස, ධර්මදාස වල්පොල, සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ, මිල්ටන් මල්ලවාරච්චි යන කලාකරුවන් වෙනුවෙන් විවිධ හැඩයේ, විසිතුරු අරුත්බර ස්මාරක තනා තිබෙනු දක්නට ලැබුණි. විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් සිය ගණනක් සිය අවසන් ගමන හා සදාතනික නින්ද සඳහා බොරැල්ල කනත්ත තෝරාගෙන ඇත.

බොරැල්ල කනත්තේ වසර 30 ආසන්න කාලයක් රාත්‍රී මුරකරු ලෙස සේවය කරන එම්.ඒ. සරත් 58 (ඩාලිං) මට පැවසුවේ රාත්‍රී කාලයේ සිදුවූ ඇඟ කිලිපොළා යන කරුණු රැසකි.

“මම දවල් 12.00 ඉඳලා පහුවදා උදේ 7.00 දක්වා ඉන්නවා. මම දවසක් ඉස්සරහා ගේටුව ලඟ ඉඳලා පිටිපස්සේ වතුර ටැප් එක ළඟට ගිහින් වතුර ගන්න හැදුවා. වෙලාව රාත්‍රී 3.00 යි. සුදු සාරියක් ඇඳගත් ගෑනු කෙනෙක් මට කථාකළා. මම බයවෙලා ඉස්සරහට දිව්වා. තව කෙනෙක් සමඟ පස්සේ ගිහින් බලද්දි නෑ. මාත් එක්ක රාත්‍රී මුරසංචාරයේ යෙදෙන කෙනා උඩහට ගියා. එන්න පරක්කු වූ නිසා මම යද්දි එයාගේ විදුලි පන්දම වැටිලා. තව ඉස්සරහට යද්දි එයා සිහිනැතුව වැටිලා. මම උස්සගෙන ආවා. තව දවසක් අපි දෙන්නා යතුරු පැදියෙන් කනත්තේ මැදට ගිහින් බයිසිකලේ නැවැත්තුවාම කවුද බයිසිකලේ පෙරළුවා. තව දවසක් යද්දි රෑ. 12 තද හුළඟක් ආවා. හාවෙක් මැරිලා හිටියා. හාවා ගල්වෙලා. තවත් දවසක් ගේට්ටුව පැත්තේ අපි දෙන්නෙක් ඉද්දි ඉතා උස කෙනෙක් එනවා වගේ දැක්කා. අපි දිහාට එද්දි ටික ටික කුඩා වෙලා බල්ලෙක් වුණා. පස්සෙ බල්ලත් අතුරුදහන් වුණා. රෑට විලාප හඬවල්, විවිධ සද්ද ඇහෙනවා. කනත්තේ වැඩ කරන්න කාන්තාවෝ යොදන්නෙ නෑ. එයාලා බය වෙන නිසා. තව දවසක් පඩියක එක්කෙනෙක් නිදා ගත්තා. මම සිමෙන්තියේ හිටියේ. මහ රෑ එයාව කවුද බිමට තල්ලු කරලා. ඊට පස්සේ එයත් බිම නිදාගත්තා. තව දවසක් රෑ 9 ට ලසන්ත වික්‍රමතුංගගේ වළ ළඟින් මම යද්දි කවුදෝ පස්සෙන් එනවා වගේ දැනුණා. ජෝ අබේවික්‍රමගේ වළ ළඟදි මම හැරිලා බලද්දි නෑ. මේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටින් සුදු ඇඳගත් කාන්තාවක් ත්‍රිවිලරයකට නැගලා මගදි හැරිලා බලද්දි කවුරුත් නැතිලු. ත්‍රිවිල් රියදුරා හොඳටම බයවෙලා. තව දවසක් මෙහේ වළවල් සුද්දකරන ටී. පරුන් කියන කෙනා වළක් සුද්ද කරද්දි කවුද ඉන අතගාලා. එයා බයවෙලා. මමයි තවකෙනෙකුයි ආදාහනාගාරේ දොර ළඟ මහ රෑ ඉද්දි ඇතු‌ෙළ් ඉඳලා කවුරුහරි දොරට ගැහුවා. ඔළුවට වැදුණේ පාර. තව දවසක් එතන නයිට් කරද්දි මගේ බෙල්ල මිරිකගෙන ගහනවා. මම කෑගැහුවට සද්දේ පිටවෙන්නෙත් නෑ. මේ වගේ අවස්ථාවල බයවෙනවා. ”

බොරැල්ල කනත්ත අසල මධ්‍යම රාත්‍රියට සුදු හැඳගත් කාන්තාවක් ත්‍රිවිල් රථවලට හා මෝටර් රථවලට අත වනන බවත් මෙම තරුණිය ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගේ වාහනවලට නැග අතුරුදන්වූ බවට ද පාලකවරයාට පසුගිය කාලයේ දැනුම් දී ඇත. සුදු ඇඳගත් මිනිස් අවතාරයක් සුසාන භූමි සේවකයන්ව මෘත දේහාගාරයට ඇඳගන්නා බවත් එම අවතාරය එහි බිත්තිමතින් අතුරුදන්වන බවටත් මේ නිසා සේවකයන් ක්ලාන්ත වී ඇදවැටී ඇති බවත් දැනගන්නට ලැබුණි.

නම් හෙළි කිරීමට අකමැති සේවකයකු පැවසුවේ මෙම සුසාන භූමියේ අවතාර රැස්වීම් පවත්වන අතර ඒවාට ළංවුවහොත් ගල්ගසා පන්නන බවයි.
රැඩිකල් මතවාදීන් පිරිසක් මෙහි එක් රැයක් ගතකිරීමට පැමිණ ඇති අතර ඔවුන් ද මෙම ගල් මුල් ප්‍රහාරයට ලක්වූ නිසා ඉවත්ව ගොස් ඇත. බොරැල්ල කනත්තේ නයි පොලොගුන් කිහිපදෙනෙක් ද සිටිති. තවත් සේවකයෙක් පැවසුවේ දවල් කාලයේ පවා ඇතැම් සේවකයින් බිය වී ක්ලාන්ත වී ඇති බවයි. එක් අවස්ථාවක තණකොළ උදලුගාමින් සිටි සේවකයකුව කිසිවකු විසින් තල්ලු කර ඇත. තවත් දිනක නම කියා ඇමතුවත් කිසිවකුත් දක්නට නොමැත.
කනත්තේ මිනීවළවල් මැෂින්වලින් පිරිසිදු කරන ඩබ්ලිව්.ඒ. රෝහණ (57) පැවසුවේ තම දිගු සේවා කාලය තුළ නයි, පොළොංගු දක්නට ලැබුණත් හොල්මන්, අවතාර නුදුටු බවයි. රාත්‍රියේ කිසිම දිනක තමා කනත්තේ නතරව නොසිටි බවද ඔහු කීවේය.

ආදාහනාගාර සේවක නිහාල් ගමගේ (55) ද දිවා කාලයේ කනත්තේ සේවය කරන අයෙකි. ඔහු පැවසුවේ මෙවැන්නකි.

“බොරැල්ල කනත්ත හැදුවේ සුද්දාගේ කාලේ. කොටුවෙ ගෑස් කම්පැනියෙන් තමයි ඒ කාලේ ගෑස් ආවේ මිනී පුච්චන්න. අක්කර 50 ක් තිබුණා. අර පාරට අක්කර 2ක් ගියා. දැන් 48 යි තියෙන්නේ. මේ ආදාහනාගාරය හැදුවෙත් සුද්දගේ කාලෙ තමයි. ලැබ්රෝයි කියලා ඕස්ට්‍රේලියානු සුද්දෙක් ඒ කාලේ මේක පාලනය කරලා තියෙන්නේ. දවසකට මෘතදේහ 6, 7 පුච්චනවා. කොවිඩ් නිසා මේ දවස්වල වැඩියි. කොවිඩ් මරණ ගෙනාවාම අපි අඳින්නේ මේ ඇඳුම. කොවිඩ් මිනීවල අළු දෙන්නෙත් නෑ. අපි ඒවා එක වළකට දානවා. සමහර පවුල්වල අය මිනියත් සමඟ ආදාහනාගාරයට එනවා. තවත් සමහරු මෙහෙ එන්නේ නෑ. මල්ශාලාවට සල්ලි බැන්දාම මල්ශාලාවෙන් ගෙනත් ආදාහන කටයුතු කරනවා.“

කොතරම් සුවිසල් සුවපහසු මාළිගාවල දිවිගෙවෙන කොයි කවුරුන් වුවද අවසාන නිද්‍රාව සඳහා කුමන හෝ කනත්තකට පැමිණිය යුතු නොවේදැයි මට පසක් විය.

නිශානී හේරත් බන්නැහැක

Back to top button