ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට විශාල පිරිසක් දැඩි උත්සාහයක..

ඇෆ්ගනිස්තානයෙන් පිටවීම සඳහා බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍ර සහිත විශාල පිරිසක් බ්‍රිතාන්‍ය තනාපති කාර්යාල පරිශ්‍රයට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔවුන් පාලනය කිරීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බවද වාර්තා වේ.
එම පිරිස් ගුවන් යානා අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍ය තනාපති කාර්යාලය ආසන්නයේ ආරක්ෂිත භුමිය වෙත පැමිණ ඇත.
එහෙත් බොහෝ පිරිසක් ඊට ඇතුළුවීමට නොහැකිව බලාපොරොත්තු සුන්වී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අතර කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම අන්තර්ජාතික බාස්කට් බෝල් ක්‍රිඩිකාවන් ද වන බව බී.බී.සි පුවත් සේවය සඳහන් කර ඇත.
අමෙරිකාවද තම රටවැසියන් සහ නියෝජිතයින් මුදාගැනීම සඳහා පියවර ගනිමින් සිටින අතර හෝටල්වල රැඳිසිටින අමෙරිකානුවන් ආරක්ෂිත ස්ථාන වෙත ගෙන ඒම සඳහා අමෙරිකානු හෙළිකොප්ටර් යොදාගෙන තිබේ.

රටින් පළායෑමට උත්සහ දරන ඇෆ්ගන් වැසියන් හේතුවෙන් කාබුල් ගුවන්තොටුපොලේ පවතින්නේ දැඩි කලබලකාරී වාතාවරණයකි.
ගුවන් මගින් රැගෙනයන සරණාගත ජනතාව රඳවා තබන කටාර් රාජ්‍යයේ පිහිටි කඳවුරක දැඩි තදබදයක් හටගැනීම නිසා මුදාගැනීමේ කටයුතු පැය කිහිපයකට අත්හිටුවීමටත් සිදුවී තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට එම කටයුතු යළි ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇෆ්ගන් සරණාගතයන් මුදාගැනීමේ මෙහෙයුම්වල අතරමැදි මධ්‍යස්ථාන ලෙස කටයුතු කිරීමට යුරෝපා, මධ්‍යම ආසියානු සහ මැදපෙරදිග රටවල් රැසක් කැමැත්ත පළකර ඇති බවද අමෙරිකානු රජය පවසා තිබේ.

ඒ හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් වේගවත් කිරීමටත් හැකි වී ඇති බව සඳහන්ය.
දුෂ්කර තත්ත්වයන් යටතේ මුදාගැනීමේ කටයුතු සිදුකරන බවත් එහි අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමාට පොරොන්දුවක් ලබාදීමට නොහැකි බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කාබුල් ගුවන්තොටුපළේ විශාල පිරිසක් රැස්වී සිටින පසුබිමක එහි පිටත සිට අත්බෝම්බ ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඇෆ්ගන් කාන්තාවන් පිරිසක් කාබුල් අගනුවරදී තලෙබාන්වරුන්ට එරෙහිව නිහඬ විරෝධතාවයක නිරත වී තිබුණි.

Back to top button