රුපියල් මිලියන 88ක් අපේක්ෂා රෝහල් කොරිඩෝවේ..

ආසියානු සංවර්ධන බැංකුවේ ණයවලින් ලබාගත් රුපියල් මිලියන 88ක් වටිනා ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රය මාස පහක කාලයක් තිස්සේ මහරගම අපේක්‍ෂා රෝහලේ කොරිඩොවේ තබා තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

මේ ආකාරයට පරීක්‍ෂණ යන්ත්‍රයක් මෙරටට ගෙන්වීම මෙන් පසු, එය සෞඛ්‍ය සේවාවේ කුමන හෝ කාණ්ඩයක් යටතට පැවරිය යුතු බවත්, එහෙත් අදාළ යන්ත්‍රය මෙතෙක් කිසිදු පාර්ශ්වයකට පවරා නොමැති බවත් එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

මෙය කෝවිඩ් පරීක්‍ෂණවලට අදාළ අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රයක් නිසා මෙම යන්ත්‍රය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන්ට පැවරිය යුතු බවත්, එවැනි කටයුත්කවත් මෙතෙක් සිදුකර නොමැති බවත් පවසා සිටි ඒ මහතා, මෙම යන්ත්‍රය මෙරටට ගෙන්වීමේ කටයුතු ආසියානු සංවර්ධන අරමුදලේ මෙරට ව්‍යාපෘති පිළිබඳ නියෝජිතයා විසින් සිදුකර තිබෙන බවද පවසා සිටියේය.

මුල්ලේරියාව රසායනාගාරයේ යන්ත්‍ර සූත්‍ර පිළිබඳ දැනුම ලබාදීම සඳහා මෙරටින් නියෝජිතයන් චීනයට එවන ලෙස යන්ත්‍ර සූත්‍ර ලබාදුන් සමාගම දිගින් දිගටම ඉල්ලා සිටියදී අදාළ බලධාරියා විසින් අදාළ කටයුත්ත සිදුනොකර සිටින බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම පුහුණුව චීන සමාගම විසින් නොමිලේ ලබාදී තිබෙන බවත්, මේ ආකාරයට මෙරට නිලධාරීන්ට ජාත්‍යන්තර පුහුණුවීම් පවා අහිමි කිරීම නිසා මුල්ලේරියාව රසායනාගාරයේ කටයුතු පවා නිසි ලෙස සිදුකර ගැනීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ නිසා ආසියානු සංවර්ධන අරමුදලේ ප්‍රතිපාදන මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳ වහා විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද රවි කුමුදේශ් මහතා පවසා සිටියේය.

Back to top button