ඉන්ධන පිරවුම්හල් වලට නිරායුද යුද හමුදාව යොදවයි..

ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්‍රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග ලැබෙනවාද, ඒ ලැබෙන ඉන්ධන තොග පාරිභෝගිකයින් අතරේ නිසි අයුරින් බෙදාහැරෙනවාද කියන කාරණය සොයා බැලීමටයි.

ඒ වගේම අදාළ ඉන්ධන පිරිවුම්හල්වල ඉන්ධන තොග අවසන්වන වීමට පෙරාතුව ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුම්වත් කර නිසි පරිදි ඉන්ධන ලබාදීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමයි.

විශේෂයෙන්ම අක්‍රමිකතාවකින් තොරව මහජනතාව වෙත ඉන්ධන බෙදා හරිනවාද යන්න අධීක්ෂණය කිරීම ඔවුන් විසින් සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වැඩිදුරටත් පවසයි.

Back to top button