පුරාවෘත්තයන් බඳු ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව ලිපි මාලාවක් අප කුඩා කාලයේ තරුණයා පුවත්පතේ පළ විය. විවියන් රිචඩ්ස්, සුනිල් ගවස්කාර් හා බන්දුල වර්ණපුර වැනි විශිෂ්ඨතමයන්ගේ ජීවිත කතා ආශාවෙන් කියවූ ඒ අතීතය තවම සිහි වේ. ශ්‍රී ලංකාවෙන් බිහි වූ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූද, අපේ රට වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ ලබා ගත්තා වූද බන්දුල වර්ණපුරයන්ගේ කීර්තිමත් ජීවිත ඉනිම නිමා කළ මොහොත සැබැවින්ම මෙරට ක්‍රිකට් වංශකතාවේ ශෝචනීය සන්ධිස්ථානයකි.
“මා නාලන්දාවෙන් ඉවත් වී වසර පහළොවක් ගෙවි ගොස් ඇත. රූස්ස මාර ගස් වලින් සෙවණ වූ ක්‍රීඩා පිටිය දකිද්දී නාලන්දාවේ ඒ සුන්දර අතීතයට නිතැතින්ම සිත දිවයයි” තරුණයා පුවත් පතේ වර්ණපුරයන්ගේ මතක ආවර්ජනය ආරම්භ වී තිබුණේ එවැනි වැකියකිනි.ඒ මහා දැවැන්තයා ක්‍රීඩා කළ නාලන්දා පිටියේ වසර ගණනාවක් දුව පැන ගිය අපට ඔහු නික්ම යෑමෙන් ඇති වූ හිස් තැන මහා බරක් මෙන් හදවතට දැනේ.
හද්දා පිටිසර පාසලක සිට නාලන්දාවට පැමිණි අපට මේ ලෝ ප්‍රකට ක්‍රීඩකයා දැකීම නිසා ආඩම්බරයක් ඇති වූ බව කිව යුතුය.ඔහු අපේ දෙමව්පියන්ගේ පරම්පරාවේ ප්‍රියතම ක්‍රීඩකයා විය. ජීවිත කාලයටම ක්‍රිකට් තහනම් කර තිබියදී පවා ඔහු නාලන්දාව වෙනුවෙන් වූ බැඳීමෙන් ඉවත් වූයේ නැත. හැකි හැම විටම නාලන්දාවට පැමිණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට උපදෙස් දීමට එතුමා කටයුතු කළේ එය අත්හළ නොහැකි වගකීමක් සේ සළකමිනි.ඔහු නොමැති වූවානම් පසු කළෙක මහානාම, ගුරුසිංහ, ධර්මසේන,මහේල වැනි විශිෂ්ඨතමයන් බිහි නොවීමට ඉඩ තිබුණි.
ඈත බොරැල්ල අහසෙන් හිරු බැස යන තුරු කැන්ටිම අසළ වූ දිගු සිමෙන්ති ආසනයේ වාඩි වී පිට්ටනිය දෙස බලා සිටින බන්දුල සර් එවක පාසල් සිසුන් වූ අපට හුරුපුරුදු දසුනකි. සමහර විටක එතුමා කුඩා අප සමඟ සැහැල්ලු පන්දු ක්‍රීඩා කිරීමටත් එක් වෙයි. එවැනි ක්‍රිකට් සෙල්ලමකදී පසුපස පාදයේ ක්‍රීඩා කළ වර්ණපුරගේ කඩුල්ල දවාගැනීමට මට හැකිවිය. ඒ ඕවරයේ අවසාන පන්දුවේදීය. ඉතිරි පන්දු පහටම ඉතා සැහැල්ලුවෙන් බිම දිගේ පන්දුව ඇදී යන සේ පහර දුන් පිතිකරුවා අවසාන පන්දුවට මගේ අතටම උඩ පන්දුවක් ලබා දුන්නේය. දැවී ගිය වර්ණපුර පිතිකරුවා පන්දු යවන්නාගේ හිස අතගා කැන්ටිම දෙසට නික්ම ගියේය. පසු දිනකදීත් ඔහු කුඩා උන්ගේ සිඟිති ඕවරයන්ට ආරක්ෂාකාරීව පහර දෙන හැටිත් අවසාන පන්දුවට උඩ පන්දුවක් ලබා දෙන හැටිත් හොඳ හැටි දැක ගතිමි. එහෙත් ලෝක පූජිත ක්‍රීඩකයාගේ කඩුල්ල දවා ගැනීමේ ආඩම්බරයෙන් මිදීමට මා අකමැති විය.
ක්‍රීඩකයෙකුට තම හොඳම කාලයේදී ක්‍රීඩාවෙන් ඉවත්වීමට සිදුවීම මියයෑමක් බඳුය. එසේ බැලුව හොත් වර්ණපුරයන් මියගියේ මීට බොහෝ කලකට පෙරය. ඒ 1982දීය. වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ සංචාරයක් හේතුවෙන් ඔහු ඇතුළු බොහෝ විශිෂ්ඨ ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් සැරිය නිමාවිය.
නාලන්දාවෙන් බිහි වූ තවත් විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක අනුර රණසිංහ අල ගොවියෙකු බවට පත්විය. අප්‍රකටව ජීවත් වෙමින් දුෂ්කර ජීවිතයක් ගතකළ ඔහු මියගොස් තිබුණේ ඉතා අසරණ ලෙසය. එකී අවාසනාවන්ත ඉරණම නොවීනම් බන්දුල වර්ණපුරයන් අද සමුගනු ඇත්තේ තවත් ඉම්රාන් ඛාන් කෙනෙකු ලෙසය.
ක්‍රිකට් ක්‍රීඩකයන් කොතෙක් සිටියත් බන්දුල වර්ණපුර නාමය නාලන්දීයයන් වූ අපට සැබෑ ආඩම්බරයකි.පළමු ටෙස්ට් නායකයා අපේය. පළමු ටෙස්ට් ලකුණ අපේය. ක්‍රිකට් වංශ කතාව මෙන්ම නාලන්දාවත් වර්ණ ගැන්වූ වර්ණපුර සර්, ඔබට සුබ ගමන්..
ශානක මධුෂාන් ලියනගම..