ඔබ ජිවත් වන ප්‍රදේශය ගැන ඔබට විවිධ අදහස් ඇති. ඇතැම් විට ඔබ ජිවත් වන ප්‍රදේශයට ඔබ ඉතා ආශා කරනවා විය හැකියි. නැතිනම් ඔබ අකමැත්තෙන් එම ප්‍රදේශයේ ජිවත් වනවාත් විය හැකියි. ඒ කොහොම වුණත් අපි හැමෝම කැමති ජීවිතය පවත්වාගෙන යෑමට ඉතා හිතකර ප්‍රදේශයක ජීවත් විමටයි. අපි හැමෝම ජිවත් වන ප්‍රදේශවල මොන මොන අඩුලුහුඬුකම් තිබුණත් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර ජිවත් වන පුද්ගලයන්ට නම් එවැනි ගැටලු අඩුපාඩු කිසිවක් පැවසිය නොහැකියි. ඒ පසුගියදා ලෝව ජිවත් වීමට ඉතාම හිතකර නගරය කෝපන්හේගන් නුවර බව ප්‍රකාශයට පත් කිරීම නිසයි.
කෝපන්හේගන් ඩෙන්මාර්කයේ අගනුවර. ඩෙන්මාර්කය කියන්නේ ස්කැන්ඩිනේවියානු රටක්. එතකොට ස්කැන්ඩිනේවියානු කියන්නේ? ස්කැන්ඩිනේවියානු රටවල් කියන්නේ පෘථිවි අර්ධගෝලයේ උතුරෙන්ම පිහිටා ඇති රටවල් කිහිපයකට. මේ රටවල් අයත් වන්නේ යුරෝපා මහාද්වීපයට. නෝර්වේ, ස්වීඩනය සහ ඩෙන්මාර්කය මේ ස්කැන්ඩිනේවියානු රටවල් අතරට අයත්. මේ රටවල් සියල්ලම ඉතා සෞම්‍ය කාලගුණයක් සහිතයි. ඉතා සොඳුරු තැනිතලා, තණබිම්, කඳුවැටි පමණක් නොවෙයි දිය ඇළිත් ඒ අතර තියෙනවා.
අනික් වැදගත්ම දේ තමයි මේ රටවල ජනතාව ඉතා පහසු ප්‍රීතිමත් ජීවිතයක් ගෙවීම.
මේ රටවල් සංවර්ධිතයි. ජනතාවට ප්‍රමාණවත් ආදායම් ලැබෙනවා. රජය විසින් ජනතාවට ඇවැසි පහසුකම් සපයනවා. නීතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල මත ජනතාව සතුටෙන් ජිවත් වෙනවා. දැන් පසුගියදා ප්‍රකාශයට පත් වූයේ කෝපන්හේගන් නගරට ලොව ජීවත් වීමට වඩාත් හිතකර නගරය බවයි. ඇත්තෙන්ම එසේ වීමට හේතු මොනවාද?
තවත් රටවල වඩා සුන්දර, වඩා පහසුකම් සහිත නගර රාශියක් සමඟ තරග කිරීමෙන් පසු ලොව ජීවත් වීමට වඩාත්ම හිතකර නගරය ලෙස කෝපන්හේගන් තේරීමට ප්‍රධාන හේතුව වූයේ නගරයේ ඇති පිරිසිදුකම. ඒ වගේම දූෂණය නොවූ පරිසරය සහ වායුගෝලය. ඩෙන්මාර්කය පරිසර සහ වායු දූෂණය ගැන ඉතා සැලකිලිමත් වන රටක්. ඔවුන් කසළ කළමනාකරණය ඉතා වැදගත් තැනක් ලබා දෙනවා.
ඒ වගේම තමයි වායු දූෂණය. ඔවුන් තම රටේ භාවිත වන මෝටර් රථවලින් නික්මෙන වායු ගැන ඉතා සැලකිලිමත්. ඇත්තටම කොහොම භාවිත කළත් ෆොසිල ඉන්ධන භාවිත කරන මෝටර් රථවලින් වායු දූෂණය සිදුවෙනවා. ඉතින් ඩෙන්මාර්කය මේ සඳහා ගත් විකල්පය තමයි පාපැදිය. කෝපන්හේගන් නගරයේ පාපැදි භාවිතය ඉතා ඉහළයි. ඒ නිසාම ඔවුන්ට ඉතා යහපත් වායුගෝලයක් හිමිවී තිබෙනවා.
නගරයේ ගහකොළ ආරක්ෂාවට ඔවුන් වෙනම නීති රීති සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම තමයි ගංගා සහ ජලපහරවල් පිරිසිඳුව පවත්වා ගැනීමට ඔවුන් විශාල වෙහෙසක් දරනවා. මේ සියල්ල නගරයේ සුන්දරත්වය වැඩි කරනවා. ඉතින් සුන්දරත්වයෙන් වැඩි වටාපිටාවක ජිවත් වන මිනිසුන් සතුටින් ඉන්නඑක අහන්නත් දෙයක්ද?
අවට පරිසරය මෙසේ පවත්වා ගන්නා අතරම රජය ඉතා වගකීම් සහගතව කටයුතු කරමින් සිටිනවා. ඔවුන් ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් කැප වෙනවා. ජනතාවට සතුටෙන් ජිවත් වීමට හැකි පරිසරයක් රට තුළ ඇති කිරීමටත්, එය පවත්වාගෙන යෑමටත් රජය තවදුරටත් කටයුතු කරනවා. නිතිය සහ සාමය ආරක්ෂා කරනවා. ඇත්තෙන්ම දරිද්‍රතාවය, ඌණ සේවා නියුක්තිය වැනි දේවල් එරටේ අසන්නටවත් නැති තරම්. මේ සියල්ල නගරයේ සුන්දරත්වයටත් වර්ධනය කිරීමටත් , ජනතාවගේ ජිවිත සතුටෙන් ගෙවා දැමීමටත් හේතු වනවා.
කෝපන්හේගන් නගරය පුරා උද්‍යාන සැලසුම් කර තිබෙනවා. මේ උද්‍යාන හරිත පැහැයෙන් බබළනවා. ජනතාව තම රැකියා අවසන් කිරීමෙන් පසුව මේ උද්‍යානවලට එනවා. ඔවුන් තම දරුවන් සහ අසල්වාසීන් සමඟ එහි සතුටෙන් කාලය ගතකරනවා.
යුරෝපයේ පර්යේෂකයන් පිරිසක් පසුගිය මසක කාලයක් ඇතුළත කරන ලද පර්යේෂණයකින් ලොව ජීවත් වීමට හිතරකම පරිසරය ඇත්තේ කෝපන්හේගන් නගරයේ කියලා තහවුරු කරන්නේ මෙන්න මේ හේතූන් නිසයි. එපමණක්ද නොවෙයි මේ පර්යේෂකයන් පෙන්වා දී තිබුණේ මේ නගරයේ ලොව සතුටෙන්ම ජිවත් වන ජතතාවද ජිවත් වන බවයි. ඉතින් මෙතරම් සුන්දර නගරයක සතුටෙන් ජිවත් නොවන්නේ කවුද?
ටිරෝනි වෑවලගේ.