කාබනික පොහොර එවූ චීන සමාගම වන්දි ඉල්ලයි..

මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමිකර ගත් චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එම වන්දි ඉල්ලීමේ ලිපිය යවා ඇති බව වාර්තා වේ.

තමන්ට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් එම සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇති බව සඳහන් විය.

මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් “HIPPO SPIRIT” නැමති නෞකාව මේ වනවිට කළුතර – බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙයි.

Marine Traffic වෙබ් අඩවිය ඒ බවට තොරතුරු වාර්තා කර ඇත.

හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ නෞකාව කොළඹ වරායට පැමිණෙන බවක් තමාට දැනුම් දී නොමැති බවය.

අවශ්‍ය සැපයුම් ලබාගැනීම සඳහා නෞකාවට කොළඹ වරායට සේන්දු විය හැකි නමුත් එම අහිතකර කාබනික පොහොර තොග වරායට ගොඩබෑමට ඉඩක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම හේතුවෙන් ප්‍රතික්ෂේප වු කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව කිසිදු හේතුවක් මත මෙරටට ඇතුළු කර නොගන්නා ලෙස සියලු වරාය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ අදාළ නෞකාව සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් විභාග වෙමින් පැවතීම හේතුවෙන් එම කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාවට මෙරටට ඇතුළු වීම සඳහා අවසර ලබානොදෙන බවය.

Back to top button