ශ්රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත්විය. ඒ ලකුණු 187කිනි.
එම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් නායක දිමුත් කරුණාරත්න ලකුණු 147ක් ද දෙවැනි ඉනිමේදී ලකුණු 83ක් රැස් කළේය.
තරගයෙන් අනතුරුව සිය ක්රීඩා විලාසය ගැන අදහස් දැක්වූ දිමුත් කරුණාරත්න සඳහන් කළේ,
“මම ගොඩාක් කණගාටු වෙලා හිටියේ මට පුහුණුවීම් කරන්න බැරිවූ නිසා. මම ඔක්තෝබර් මාසේ තමයි පුහුණුවීම් පටන් ගත්තේ. ෆිට්නස් තමයි මුලින්ම පුහුණුවීම් කළේ. තරගත් ගොඩක් සෙල්ලම් කරන්න ලැබුණේ නෑ. ඒ නිසා මගේ නම පිටිපස්සේ ලකුණු තිබුණේ නෑ මම මේ ටෙස්ට් මැච් එකට එනකොට. ලකුණු නැති නිසා හිතේ ඩවුට් එකක් තිබ්බා තරගය සෙල්ලම් කරනකොට. ඒත් මම දැනන් හිටියා මම පොඩි ආරම්භයක් ගත්තොත් මට ඒක ලොකු ඉනිමකට යන්න පුළුවන් කියලා. ඒක තමයි මගේ සම්පූර්ණ රිද්මයට ආවේ. නමුත් මම තාම හිතනවා මම 100%ක් මගේ ෆෝම් එකට ඇවිත් නෑ කියලා.”
“2020 දෙසැම්බර්වල මම පටන් ගත්තේ දකුණු අප්රිකා තරගාවලියෙන්. එතනින් තමයි මට ගොඩක්ම විශ්වාසයක් ගොඩනැගුණේ. දන්න විදිහට එහෙ 100ක් ගහලා නෑ ශ්රී ලංකා පිතිකරුවෙක්. ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බටහිර ඉන්දීය කොදෙව් තරගවල මම ගොඩක් ෆේල් වෙලා මිකී ආතර් මට ගොඩක් දේවල් කියලා දුන්නා. කොහොමද මම ඉනිමක් පටන් ගන්න ඕනේ, කොතනදි ද මම වේගවත් කරන්න ඕනේ, මොන වගේ පන්දුයවන්නන්ට ද මට ලකුණු ගන්න පුළුවන් වගේ දේවල්. ඒවත් එක්ක තමයි මම මගේ ඉනිම ගොඩනගා ගත්තේ. පළමු පන්දුවාර 15 තමයි මගේ ඉලක්කය වුණේ. ඒක ගහ ගත්තොත් ලොකු ඉනිමකට යන්න පුළුවන් කියලා මම හිතුවා. පුහුණුකරු ඇවිත් මට ඒ දේවල් කියපු එක ගොඩාක් වටිනවා. දැන් මම හොඳ මානසිකත්වයක ඉන්නවා මැච්වලට යනකොට. ඉස්සර මම සෙල්ලම් කළේ ෆේල් වෙයි කියලා බයෙන්. දැන් එහෙම නෑ. දැන් ෆේල් වෙන්න බයක් නෑ.”