මගේ වටිනාකමට මම අයකරනවා ..

දුෂේනි මියුරංගි රංගනයට නර්තනයට දක්ෂතා පෑව සූරූපී ශිල්පිනියක්. නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් බොහෝ දෙනෙක්ගේ හිතේ ලැගුම් ගන්න ඇයට හැකියාව ලැබුණා. හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙලේදි ඇය ඉන්දියානු රංගන ශිල්පී සිද්ධාර්ත් මල්හෝත්රා සමග කළ නර්තන අංගය නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය දුෂේනි පැත්තට හැරුණා. හැබැයි ඊට කාලයකට පස්සේ දුෂේනි ලංකාවේ නිර්මාණවල දකින්න ලැබුණෙ නැහැ. වසර දෙකකට වැඩි කාලයක් නිහඩ වෙලා හිටපු දුෂේනි ආයෙත් ටෙලි නිර්මාණයකින් ප්රේක්ෂකයන් අතරට ඇවිත්.
 
පහුගිය කාලේ වුණේ මොනවද කියලා දැනගන්නත් එක්කම අපි ඇය හා එක් වුණා.
 
නිහැඬියාව බිඳලා දුෂේනි ආයෙත් වැඩ පටන්ගෙන. අලුත් ආරම්භය ගැන මුලින්ම කතා කරමු?
 
අවුරුදු දෙකහමාරක් විතර මම ලංකාවේ නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ.
ඇත්තටම කාලයකට පස්සේ තමයි මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. ඒ ආරම්භය තියන්නෙ පාරදිගේ ටෙලි නිර්මාණයෙන්. අවුරුදු දෙකහමාරක් විතර මම ලංකාවේ නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. කාලයකට පස්සේ මාව නිර්මාණයකින් දකින්න ලැබීම ප්රේක්ෂකයන්ටත් ලොකු සර්ප්රයිස් එකක් වුණා.
 
 
අලුත් ආරම්භය තියන්න පාර දිගේ නිර්මාණය තෝරාගන්නත් විශේෂ හේතුවක් තියෙන්න ඇති?
 
පිටපත කියෙව්වම මට කරන්න තිබුණ චරිතයට ආස හිතුණා. ගොඩක් වෙලාවට ප්රධාන නිළියට කරන්න තියෙන්නේ අහිංසක පෙම්වතියගේ චරිතයනේ. හැබැයි මට කරන්න ලැබුණ බන්ටිගේ චරිතය විවිධත්වයක් තියෙන චරිතයක්. සද්ධා මංගල සූරියබණ්ඩාර අයියගේ පිටපත, සිවගුරුනාදන් අයියගේ අධ්යක්ෂණය, චාමර අයියගේ නිෂ්පාදනය, මේ හැමෝගෙම සුසංයෝගයත් එක්ක මේ වැඩේ හොඳ හිට් එකක් වෙයි කියලා හිතුවා. ඒකයි මේ නිර්මාණය බාරගත්තේ.
 
 
බන්ටි කියන්නේ අභියෝගයක් තියෙන චරිතයක්. කොහොමද ඒ චරිතයට අනුගත වුණේ?
 
බන්ටිගේ චරිතයත් එක්ක ප්රේක්ෂකයෝ ඒ චරිතය වැලඳ ගනිමින් ඉන්නවා කියලා දැනෙනවා.
බන්ටිගේ චරිතය අභියෝගයක් තිබ්බ චරිතයක්. මගේ චරිතයෙයි බන්ටිගේ චරිතයෙයි තිබ්බේ එක සමානකමයි. බන්ටි වගේම මාත් ටිකක් කොල්ලෙක් වගේ තමයි අඳින්නේ. හැබැයි බන්ටිගේ කතා ශෛලිය, ඇවිදින විදිහ මේ සියල්ල වෙනස් කරගන්න වුණා. පිටපත කියවලා සතියක් වගේ ඇතුළත රූගතකිරීම් කරන්න පටන්ගත්තා. ඒ කාලය ඇතුළත මම පිරිමි ළමයි කතා කරන විදිහ ඇවිදින විදිහ අධ්යයනය කළා. ඒත් එක්ක චරිතයට අවශ්ය දේවල් එකතු කරගත්තා. බන්ටිගේ චරිතයත් එක්ක ප්රේක්ෂකයෝ ඒ චරිතය වැලඳ ගනිමින් ඉන්නවා කියලා දැනෙනවා.
 
වෙනසක් එක්ක දුෂේනිව දකින්න ලැබෙද්දි ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්රතිචාරත් වෙනස් ඇති?
 
පාරදිගේ නාට්යයේ ට්රේලර් එක දැකපු දවසේ ඉඳන් විශාල ප්රේක්ෂක ප්රතිචාරයක් ලැබෙන්න ගත්තා. මාව කාලයක් දකින්න ලැබුණේ නැත්තේ ඇයි කියලා ප්රේක්ෂකයෝ හොයමින් හිටියේ. මම හිතනවා පුංචි තිරයේ නිර්මාණයකින් ආයෙත් ප්රේක්ෂකයන් අතරට එන්න මම හරිම තීරණය ගත්තා කියලා. තාම කොටස් කිහිපයයි නාට්යයේ විකාශය වුණේ. ඒත් ඉතාම හොඳ ප්රේක්ෂක ප්රතිචාරයක් ලැබෙනවා. ඉදිරියටත් මේ චරිතය ප්රේක්ෂකයෝ කොහොම වැලඳ ගනියිද කියලා බලමු.
 
ඔබ හොඳ ආරම්භයක් තිබ්බා කියන සතුට ඇති?
 
ඔව්. මට අලුත් පටන්ගැන්ම ගැන සතුටුයි. මම කොහොමත් ටිකක් නිහඬ වෙලා ඉන්න කැමැති කෙනෙක්. එහෙම කාලයක් නිහඬ වෙලා ඉඳලා වාසනාවන්ත ආරම්භයක් තිබ්බා කියලා හිතනවා.
 
පහුගිය කාලේ නිර්මාණවල පේන්න නොහිටින්න ඔබ ලංකාවේ නොහිටපු හේතුවත් බලපෑවා නේද?
 
ඔව්. මම ලංකාවේ හිටියෙත් නැහැ. සාමාන්යයෙන් මම මොනවද කරන්නේ කියලා ලොකුවට එළියට දාන්නේ නැති කෙනෙක්. ටිකක් හැංගිලා ඉන්න කැමති කෙනෙක් මම. දැන් ලංකාවට ඇවිත් මාස පහක් හයක් වෙනවා. ඒ ඇවිල්ලත් මම ටිකක් සද්ද නැතුව හිටියා.
 
ඇත්තටම දුෂේනි ඉන්දියාවට ගියේ ඇයි?
 
ඒ ප්රශ්නයට විශේෂ උත්තරයක් මම පස්සේ දෙන්නම් නේද? මොකද මම කැමතියි කියනවට වඩා වැඩකින්ම ඒක පෙන්නන්න.
 
ඉන්දියාවට ගියේ විශේෂ ආරාධනයකින්ද?
 
යම්කිසි ආරාධනයක් නිසා තමයි මම ඉන්දියාවට ගියේ. ඒක මගේ ජීවිතේ ලැබුණ ලොකු අවස්ථාවක්.
 
නැවත ඉන්දියාවට යනවද?
 
අනිවාර්යයෙන්ම යනවා. දැන් ඉන්දියාවෙත් කොරෝනා තත්තවය වැඩියි. මම ආයෙත් ඉන්දියාවට යන්න සූදානම් වෙලා හිටියේ. නමුත් දැන් තියෙන තත්ත්වය එක්ක අවුරුද්දක් විතර ආයෙත් ලංකාවේ ඉන්නවා කියලා හිතුවා.
 
එහෙනම් ඒ කාලය ඇතුළත ලංකාවේ නිර්මාණවලට සම්බන්ධ වෙයි?
 
පාරදිගේ ටෙලි නාට්යයට කලින් මට වැඩ කිහිපයකට කතා කළා. ලංකාවෙන් යන්න හිටපු නිසා ඒ වැඩ බාරගත්තේ නැහැ. කොහොම වුණත් අවුරුද්දක් විතර ලංකාවේ ඉන්න නිසා හොඳ පිටපතක් තියෙන හොඳි නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.
 
ආයෙත් ඉන්දියාවට ගියොත් ලංකාව අමතක කරලම දායිද?
 
කොහෙත්ම නැහැ. ලංකාවේ පොළවට අඩිය තියද්දි දැනෙන හැඟීම කොහෙට ගිහිල්ලවත් ගන්න බෑ. කොහේ ගියත් ලංකාව අමතක කරන්නේ නැහැ.
කාලයක් නොපෙනී හිටියත් දුෂේනිව අධ්යක්ෂකවරුන්ට අමතක වෙලා නෑ නේද?
 
නැහැ. මම සාමාන්යයෙන් ප්රසිද්ධිය ජනප්රියත්වය පස්සේ යන කෙනෙක් නෙවෙයි. වැඩ හොයාගෙන යන කෙනෙකුත් නෙවෙයි. එහෙම වැඩ හොයාගෙන ගියා නම් මෙලහකට මම වැඩ ගොඩක් කරලා. මාව යම් නිර්මාණයකට අවශ්ය නම් අපිව කොහෙන් හරි හොයලා ගන්නවා. කතාවක් තියෙනවානේ හැමදාම පෙනෙන කුකුළගේ කරමලේ සුදුවට පේනවා කියලා. ඉතින් කාලයක් නොපෙනී හිටියම අගයකුත් තියෙනවා.
 
 
දුෂේනි තමන්ගේ අගය රඳවා ගන්න මහන්සි වෙනවා වගේ?
 
මම හැම දේකදිම හැම තැනකදිම මගේ අගය තියාගෙන වැඩ කරන්නේ.
ඔව්. වටිනාකම වැඩියි.
 
දැන් දුෂේනිගේ මිලත් වැඩි ඇති?
 
ඔව්. වටිනාකම වැඩියි.
වටිනාකම ගෙවන්න පුළුවන් අය මාව වැඩවලට ගත්තා.
 
දැන් අඩු මුදලට වැඩ කරන්න ඕන තරම් අය ඉන්නවා. ගණන් උස්සද්දි ඔබව වැඩවලට ගන්න අධ්යක්ෂකවරු මැලි වෙන්නේ නැද්ද?
 
මාව නිර්මාණයකට ඕනේනම් මගේ වටිනාකම දීලා නිර්මාණවලට සම්බන්ධ කරගන්නවා. මගේ වටිනාකම ගෙවන්න බැරුව සමහර නිර්මාණවලට මාව ගන්න බැරි වුණා. ඒ වගේ අවස්ථාවල ඕකේ තෑන්ක් යූ කියලා මම පැත්තකට වුණා. වටිනාකම ගෙවන්න පුළුවන් අය මාව වැඩවලට ගත්තා.
 
දුෂේනි ප්රධාන චරිත විතරමද කරන්නේ?
 
මම දැනට ටෙලි නාට්ය හතරක් කරලා තියෙනවා. ඒ හතරෙම මම ප්රධාන චරිත කළේ. මම කැමැතියි විවිධ චරිත කරන්න .ගොඩක් වෙලාවට ප්රධාන චරිතවලට තමයි මට කතා කරන්නේ.
 
ලංකාවේ සිනමාවට එකතු වෙන්නත් අදහසක් තියෙනවද?
 
ලංකාවේ සිනමාවටත් ආසයි. කිසිම දෙයක් මට ඕනේ කියලා බලාපොරොත්තු තියාගෙන නැහැ. ලැබුණොත් හොඳ දෙයක්නම් සම්බන්ධ වෙනවා.
 
දුෂේනිටත් වැඩ ඇතුළේ සීමා ඇති?
 
මම නිර්මාණයක් බාරගත්තම ඒ චරිතයට සියයට සියයක් සාධාරණයක් කරන්න තමයි මහන්සි වෙන්නේ. මම මට ලැබෙන චරිතයට ආදරය කරනවා. ආයෙත් ගෙදර එන්න බැරි විදිහේ වැඩනම් මම කරන්නේ නැහැ. මොකද අපේ තාත්තා සැරයි. ඒ නිසා වැඩ කරද්දි සමහර සීමා දාගෙන තියෙනවා.
 
දුෂේනි දැන් පෙම්වතියක්ද?
 
දැන් මම පෙම්වතියක් නෙවෙයි. මම මට සහ මගේ වෘත්තියට ආදරය කරන්නේ. දැන් අවුරුදු දෙකක ඉඳන් මම පෙම්වතියක් නෙවෙයි. මම මටම ආදරය කරනවා. එතැන තමයි මගේ සාර්ථකත්වය තියෙන්නේ.
 
ආදර යෝජනාවලනම් අඩුවක් නැතුව ඇති?
 
ආදර යෝජනාවල නම් අඩුවක් නැහැ. මම දැන් කෙලින් වැඩ කරනවා. අපි කාගෙන්වත් යැපෙන් නැතුව ස්වාධීනව වැඩ කරද්දි එහෙම ආදර යෝජනා ආවත් අපිට ඒවා පැත්තක තියලා වැඩ කරන්න පුළුවන්.
 
තිළිණි කෞශල්යා විජේසිංහ

Back to top button