මෙරට දිනකට ආහාර මෙට්‍රික් ටොන් 5000ක් අපතේ හරින බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඊයේ (29) යෙදී තිබුණු “ආහාර අපතේ යාම සහ ආහාර අපද්‍රව්‍ය අවම කිරීම් පිළිබඳ ජාත්‍යන්තර දැනුම්වත් කිරීමේ දිනය” ට සමගාමීව පරිසර අමාත්‍යාංශයේදී පැවැති වැඩසටහනකදී ඇමැතිවරයා මේ බව කීවේය.
මෙරට නිෂ්පාදනය කරන බෝගවලින් සියයට 40 ක් අපතේ යන බවත්,පිසූ සහ නොපිසූ ආහාර මෙට්‍රික් ටොන් 5000 ක් දිනකට කසළ වශයෙන් බැහැර කරන බවත් ඔහු පැවසුවේය.
ලෝකයේ ජනතාව පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන ආහාරවලින් තුනෙන් එකක් පමණ එනම් වසරකට මෙට්‍රික් ටොන් බිලියන එකයි දශම තුනක් ප්‍රයෝජනයට නොගෙන අපතේ හරින බව ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ තොරතුරු මගින් හෙළිදරව් වී තිබෙන බවත්, ලෝකයේ ජනගහනයෙන් මිලියන 820ක් පමණ සාගින්නෙන් පෙළෙන බවත් ඇමැතිවරයා කියයි.
ලොව සියලුම ජනතාවට ඇති තරම් ආහාර දැනට නිපදවනු ලැබුවත් නිසි ලෙස ආහාර බෙදී නොයාම හේතුවෙන් විශාල පිරිසකට ආහාර වේලක් ලබා ගැනීම අහිමිව ඇතැයි ඇමැතිවරයා කියා සිටී.
සාලිය කුමාර ගුණසේකර