ගෑස් ලිපේ රස්නෙට ඇවිළුණ ප්‍රියංගනීගේ ජීවිතය..

මේ රටේ මිනිස්සු උදේට නැඟිටලා ළිප පත්තුකරන්න කුස්සියට යන්නේ අද අපේ ගෑස් ළිප ගිනිගනීදෝ යන බියජනක හැඟීමත් එක්ක. තාමත් විසඳුමක් නොලැබුණු මේ ගෑස් ප්‍රශ්නයට වන්දි ගෙවන්න සිදුවෙන්නේ අහිංසක ජීවිතවලින්. මේ පිපිරීම්වලට හේතුව මොකක්ද කියලා තාමත් නිවැරැදිව සොයාගෙන නැහැ. ඊට ප්‍රතිකර්මයක් හෝ ක්‍රියාමාර්ගයක් තවත් නැහැ.

අදාළ ගෑස් සමාගම්වත් මේ වෙනුවෙන් කතාකරන්නෙ නැහැ. දරුවෝ හතරදෙනෙක් ඉන්න අහිංසක අම්මා කෙනෙක්ට පසුගියදා තම ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුණේ මේ හින්දයි. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා මාතලේ විල්ගමුව නිවෙසේ සිට මහනුවර කුණ්ඩසාලේ කුලී නිවෙසට ගිය 52 හැවිරිදි අශෝකා ප්‍රියංගනීට ආපසු තම නිවෙසට පැමිණිමට සිදුවුණේ තම ජීවිතය ගෑස් මාරයාට බිලිදෙමින්.

ඇය පසුගිය පළමු වැනිදා කුණ්ඩසාලේ කුලි නිවෙසේ තිබූ ගෑස් උදුන දැල්වූයේ උදෑසන ආහාර සැකසීමේ අරමුණෙන්. එහෙත් ගෑස් උදුන දල්වනවාත් සමගම උදුන පුපුරා ගොස් තිබුණේ ප්‍රියංගනීට බරපතළ තුවාල සිදුකරමින්.

එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රියංගනීගේ ස්වාමිපුරුෂයා දැක්වූයේ මෙවන් අදහසක්.

‘ගෑස් එක ඔන් කරනකොට එකපාරටම පුපුරලා තියෙනවා. ඊට පස්සේ විශාල ශබ්දයක් සමග කුස්සියේ ලොකු ගිනි ජාලාවක් ඇවිත් තිබුණා. ඒ සද්දෙට අපේ චූටි පුතාට ඇහැරිලා බලන්න ගිහින්. පුතා ඇතුළෙන් අත දාලා දොර ඇරලා අම්මා නැඟිට්ටවලා තියෙනවා. අම්මාව නැඟිට්ටෙව්වාට පස්සේ දනවා… දනවා… කියලා ඇවිදගෙන ඇවිත් මුහුණ වතුර දාලා සෝදගෙන තියෙනවා. ඊට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගිහින් තියෙනවා. තත්ත්වය බරපතළ නිසා ඒ වෛද්‍යවරයා ඇයව වෑන් එකක නංවාගෙන ගිහින් මහනුවර මහරෝහලට ඇතුළත් කරලා තියෙනවා. එතැනදී පැය හතරහමාරක ශෛල්‍යකර්මයක් කරලා මම යනකොටයි ඇයව එළියට ගත්තේ. මේ රජය ඇගේ මරණයට වගකියන්න ඕනේ. හැම ප්‍රශ්නයකින්ම ජනතාවට දුක වේදනාව විතරයි ඉතිරි කරන්නේ…’

‘මේ රටේ රජයක් තිබුණට අපි දකින්නේ පාර්ලිමේන්තුවෙ ඒගොල්ලො රණ්ඩු වෙනවා විතරයි. අද වෙනකන් මං හිතන්නේ මේ පිළිබඳව කිසිම කෙනෙක් වචනයක්වත් කිව්වේ නැහැ. අද වෙනකන් අපි ගොඩක් අසරණ වුණා. දරුවන් හතරදෙනා දැන් ඉන්නේ තැන් හතරක. මේ දරුවන්ට අම්මා නැති අඩුව හුඟක් දැනෙනවා. මම ලිට්රෝ සමාගමටත් රජයටත් විරුද්ධව දැනටමත් නඩු මඟට බහින්න කටයුතු කරලා තියෙන්නේ. මේ දරුවන්ගේ අම්මා දිවා රෑ නොබලා කටයුතු කළේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ නිසා පිට පළාතකට ගිහිල්ලා දරුවන්ගේ අනාගතය සුබදායක කරන්න ඇය කටයුතු කරමින් හිටියේ. අපිට දරුවන් ගැන විශාල බලාපොරොත්තු තිබුණු නිසා තමයි පිට පළාතකට ගියේ. ඒ සියල්ලම විනාශ වෙලා ගියා…’ හැඬූ කඳුළින් ඔහු පවසා සිටියා.

ගෑස් අනතුරින් තුවාල ලබා සිටි අශෝකා ප්‍රියංගනී මහත්මියව මහනුවර මහ රෝහලට ඇතුළත් කළත් ඇය දින 12ක් ගතකළේ දැඩිසත්කාර ඒකකයේ. ඇය ජීවත් කරවීමට රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු වෛද්‍යවරුන් ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වුණා. දරුවන් සිවුදෙනකුට මවු සෙනෙහස අහිමි කරමින් පසුගිය දහවැනිදා ඇය ජීවිතයෙන් සමුගත්තා. ඇගේ අවසන් කටයුතු සිදුවුණේ පසුගිය 14 වැනිදා මාතලේ විල්ගමුව දේවගිරිය පොදු සුසාන භූමියේදියි. අවුරුදු තුනහමාරක ඇගේ සිඟිති දරුවා අම්මාගේ දේහය ‘වහන්න එපා, වහන්න එපා….’ යැයි හඬා වැලපුණේ තම අම්මාව තව මොහොතක් හෝ නිවෙසේ රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙන්. මේ සිදුවීම බොහෝ දෙනාගේ හදවත කම්පාවට පත්කළා. මේ පුංචි දියණියට තම අම්මා නැති අඩුව දරාගන්න අමාරුයි. කොහොම උහුලන්නද කියලා හිතාගන්නවත් බැහැ.

මේ සිදුවීමත් සමග විල්ගමුව ගමේ ජනතාව ප්‍රියංගනී මහත්මියගේ දේහය රැගෙන යන මාර්ගයේ රැස්වෙමින් ගෑස් සමාගමට එරෙහිව විරෝධතාවක නිරත වුණා. කෙසේ වෙතත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අනතුරට පත් කාන්තාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන බවයි.

දරුවන්ගේ බඩගින්න නිවන්න කන්න ටිකක් හදලා දෙන්නයි ඒ අම්මා කුස්සියට ගියේ. අවුරුදු තුනහමාරක පුංචි දරුවකුගේ ඇස්වලින් වැටෙන කඳුළු, ඒ අසරණ මිනිස්සු විඳින වේදනාව මේ රටේ බලධාරීන්ට තේරෙන්නේ නැහැ. මේ ගෑස් ප්‍රශ්නවලට තවමත් ස්ථිර විසඳුමක් නැත්තේ ඒ නිසයි. මේ අම්මා උදේ නැගිටලා ගියේ තම දරු පැටවුන්ට කෑම උයන්නයි. ඒ අම්මා පිච්චුණු තුවාල එක්ක අවසන් හුස්ම හෙළනකන්ම තම දරුවන් ගැන දහස් වර හිතන්නට ඇති.

මේ ගෑස් මාරයා බිලිගත් එක් ජීවිතයක් පමණයි. මෙවැනිම ගෑස් අනතුරුවලින් තවත් සියගණනක් අහිංසක මිනිසුන් හෙට දවසෙත් මියයන්නට පුළුවන්. ඒ අනතුර නිසා අසරණ වුණේ අහිංසක දරුවන් හතරදෙනා සමග තනිවූ ස්වාමි පුරුෂයා විතරයි. ඒ අඩුව දැනෙන්නේ ඔවුන්ට විතරයි. අහිංසක දරුවන්ට නැතිවුණේ ආදරණීය අම්මා කෙනෙක්. ස්වාමි පුරුෂයාට ආදරණීය බිරියක් අහිමි වුණේ. අනතුරක් සිදුවුණාම මුදල් තියෙන මිනිසුන්ට පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙලා කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. ඒත් දුප්පත් අහිංසක මිනිස්සු ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්නෙත් ඉතාම අපහසුවෙන්.

දිගින් දිගටම සිදුවන මේ අනතුරු නිසා ජනතාව පත්ව ඇති අවදානම පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානය තවමත් යොමුවෙලා නැද්ද කියලයි අහන්න තියෙන්නේ. කමිටු පත්කරමින් වාර්තා කැඳවමින් ප්‍රශ්නය විසඳාගැනීම මේ විදියට කල් යවන්නේ ඇයි?

පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව භාරව සිටින අමාත්‍යවරයා මේ පිළිබඳ පැවසුවේ මෙවැනි කතාවක්.

‘ඔව් ඇත්ත. තාමත් පුපුරනවා. නවත්වගන්න බැරිව තිබෙනවා…’ යනුවෙනි.

ගෑස් සම්බන්ධව පත්කළ කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පවසා සිටියේ, ගෑස් අනතුරු සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමාට භාරදීමට තවමත් වෙලාවක් ලබාදී නොමැති බවයි. මේ අනතුර වෙනත් රටක සිදුවුණා නම් අදාළ ආයතන පාරිභෝගික ජනතාවට වන්දි ගෙවලා, මේ වෙද්දි සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙලත් ඉවරයි. ඒත් අපේ රටේ එහෙම වෙන්නේ නෑ. රටේ තැනින් තැන ගෑස් පුපුරලා ජීවිත විනාශ වෙනවා. ඒ අනතුරුවල වගකීම භාරගන්න අපේ රටේ බලධාරීන් කිසිවකුත් ඉදිරිපත් වන බවක් පෙනෙන්නේ නැහැ.

මේ සිදුවීම්වල වගකීම දරන බලධාරින්ගෙන් අපි ඉල්ලා සිටින්නෙ වහාම ක්‍රියාත්මක වෙලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලයි. එහෙම නොකරනවා නම් ප්‍රියංගනී වැනි තවත් අම්මාවරුන්ගේ ජීවිත කොයි තරම් ප්‍රමාණයක් අකාලයේ විනාශ වේවිදැයි කාට නම් කියන්න හැකිද?

Back to top button