සිංහල අලුත් අවුරුද්දට පසුව කොවිඩ් තෙවැනි රැල්ලක් පැමිණෙතැයි වූ අනතුරු හැඟවීම සැබෑවූ ආකාරයක් ගෙවුණු සතිය පුරා අසන්නට දකින්නට ලැබුණි. එම නිසාම කොවිඩ් අවදානම සම්බන්ධව නිරන්තර අනතුරු අඟවමින් සිටින ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ සංවාදයක් ඇතිකර ගතිමු. එහිදී අප හා සම්මුඛ වූයේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාය.
මේ ආරම්භ වී ඇත්තේ තුන්වැනි රැල්ලද යන ගැටලුව නිරාකරණය කරගනිමින් අපි සංවාදයට ප්‍රවේශයක් ලබා ගතිමු.
“ඇත්තටම අපිට මේක තුන්වැනි රැල්ලක් කියලා කියන්න බෑ. මොකද දෙවැනි රැල්ල ඉවරවෙලා තිබුණේ නෑ. යම් තරමකට රෝගීන් 200ක් 250ක් දෛනිකව වාර්තා වුණා. ඒ වාර්තා වුණ රෝගීන්ගේ වැඩිවීමක් තමයි තියෙන්නේ. අලුත් අවුරුද්ද එක්ක ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීම නිසා අඩුවෙමින් තිබූ රෝගීන් වාර්තාවීම මේ වෙනකොට වැඩිවෙලා තිබෙනවා. පැතිරීමේ වැඩිවීමකුත් මේ වෙද්දී පෙන්නනවා.”
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාට අනුව වර්තමාන තත්ත්වය තුන්වැනි රැල්ල ලෙස හැඳින්වීමට දැනට පහසුය. එසේ නමුත් මතුවී ඇති අවධානය සුළුකොට තැකිය නොහැක. මුලසිටම තම පාර්ශ්ව මෙම අවදානම පිළිබඳ අනතුරුව හැඟවීම් කළ බව ඔහු සිහිපත් කරයි.
“අපි මුලසිටම අනතුරු හැඟෙව්වා මහජනතාවට සහ ප්‍රතිපත්ති තීරකයන්ට ඉදිරියේදී ඇතිවෙන තත්ත්වය පිළිබඳව. අනතුරු හඟවපු හැම අවස්ථාවකම ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. උදාහරණ කිහිපයක් ගන්න පුළුවන්. අපි පළවෙනි රැල්ල අවසන් වීමත් සමඟ අනතුරු හැඟෙව්වා අපේ කටුනායක අනතර්ජාලය ගුවන් තොටුපොළේ තිබෙන හිඩැස් පිළිබඳ. වෙන රටකින් වෙනත් ප්‍රභේදයක් ලංකාවට පැමිණීමේ හැකියාව තිබෙන බව වගේ ගුවන්යානා කාර්යමණ්ඩලය සම්බන්ධව අපි කිව්වා. නමුත් ඒ සම්බන්ධව හරි අවධානයක් නොතිබුණ නිසා දෙවැනි රැල්ලක් ඇතිවුණා. ඊටපස්සේ දෙවැනි රැල්ල යම් පමණකට පාලනය කරගෙන යනකොට 2021 වසර ආරම්භයේදීත් අපි කිව්වා ඒ නිවාඩු කාලේ සංචරණය නිසා අවදානමක් අතිවෙයි කියලා. ඒක අහපු නැති නිසා නැවත අවදානමක් ඇති වුණා.”
සිංහල අවුරුද්දට කලින්ද මෙවන්ම අනතුරු හැඟවීමක් කළ බව උපුල් රෝහණ මහතා සිහිකරයි. ඒ මොහොතේ තිබූ වටපිටාව පිළිබඳ අවධානය යොමුකොට ඔවුහු එම අනතුරුව හැඟවීම සිදු කළහ. මහජනතාවද එම අවදානම කනකට නොගත් අතර අද භුක්ති විඳිමින් සිටින්නේ එහි ප්රතිඵලයයි. එසේම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිහිපත් කර දෙන්නේ සෞඛ්‍ය උපදෙස් ප්‍රමාණවත් නොවන බවත් ඒවා නීති බවට පරිවර්තනය විය යුතු බවත් කියූ බවය.
“මේ වෙද්දී රෙදිපිළි වෙළඳසල් ආශ්රිත ආසාදිතයන් වාර්තා වෙනවා. ඒ වගේම ප්‍රවාහන මාධ්‍ය තුළ ආසාදිතයන් වාර්තා වෙනවා. ඊට අමතරව බැංකු දෙකක් ආශ්‍රිතව පාලනය කළ නොහැකි මට්ටමේ ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙනවා. මීට අමතරව අපි මුල සිටම අනතුරුව හැඟවූ පරිදි ඇඟළුම් කර්මාන්තශාලා ආශ්‍රිතව පාලනය කරගත නොහැකි ආකාරයේ රෝගීන් වාර්තා වෙනවා.
මේ අනුව පෙනී යන්නේ මහ ජනතාව සේම බලධාරීන්ට වර්තමාන තත්ත්වයට වගකිවයුතු බවයි. ඒ අනුව වර්තමාන තත්ත්වය පෙරට වඩා අවදානම් සහගත වන්නේ කෙසේදැයි අපි උපුල් රෝහණ මහතා සමඟ සාකච්ඡා කළෙමු.
“දැන් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වුණ සිදුවීම් දෙස බලනවිට පේනවා එක තැන අනු පොකුරු රාශියක් ඇතිවෙනවා. මෙහිදී මේ අනු පොකුරුවලට කොහෙන්ද වෛරස් ලැබුණේ කියන එක හොයාගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. දැන් කුලියාපිටිය නගරය ගත්තාම රෙදිපිළි වෙළඳසල් ආශ්‍රිතව විශාල ප්‍රමාණයක් ආසාදිතයෝ ඉන්නවා. නමුත් අපිට හොයන්න බෑ ඔවුන්ගේ මුල. ඒ නිසා අපි කරන්නේ මේ ආසාදිතයත් එක්ක ගැටුණු ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකරන එක. නමුත් රෝගය රුගෙන ආපු කෙනාව දන්නේ නෑ.”
උපුල් රෝහණ මහතා පවසන්නේ දැන් ආසාදිතයන් හමුවන්නේ දාමයේ අගින් බවයි. දාමයේ මුල සොයාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව තත්ත්වය බරපතළය. මෙය එක්තරා ආකාරයකට පසුගිය කාලයේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ අවම කිරීම හේතු කරගෙන නිර්මාණය වූ තත්ත්වයකි. වර්තමාන අනු පොකුරුවල මුල සිටම සොයාගැනීමට අවස්ථාවක් තිබුණු බව එයින් හැඟී යයි.
“පසුගිය සතියක කාලයට වඩා ඉදිරිය තීරණාත්මකයි. වෛරසයේ බීජ අවශෝෂණ සමය සැලකුවම දින දහයක් විතර වෙනවා. එහෙම සැලකුවාම නව වසරට උදාවීමට පෙර පැතිරුණ වෛරසයේ අසාදිතයන් තමා අපි දැක්කේ. ඒත් අපි දන්නව අවුරුදු ආසන්න දින කිහිපය තුළ ජනතාව හැසිරුණ විදිහ. දැනට මේ මට්ටමට ආසාදිතයන් වැඩිවෙනවා නම් ඉදිරියේදී එය වඩාත් වැඩිවීමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන්ම අප්‍රියෙල් 25 වැනිදායින් පසු උදාවන සතිය සහ මැයි මාසයේ පළමු සතිය ඉතාම තීරණාත්මකයි.
ඒ අනුව නිසැක වශයෙන් ආසාදිතයන් වැඩිවීමේ අවදානමක් මතුව තිබේ. එම නිසාවෙන් තීරණාත්මක කාලය තුළ වසංගත පාලනය කිරීමට අප අසමත් වුවහොත් තත්ත්වය අතිශය බරපතළ වනු ඇත. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන පරිදි ඉන්දියාවේ තත්ත්වයට නොවුණහොත් ඊට සමානකම් සහිත ප්‍රශ්නගත තත්ත්වයක් රට හමුවේ නිර්මාණය වීමට ඉඩකඩ තිබේ. වාසනාවකට ඇත්තේ ඉන්දියාවට සාපේක්ෂව අපේ කොලනි ආශ්රිත ගණත්වය අවම වීම සහ ජනගහණයට සාපේක්ෂව අපේ සෞඛ්‍ය පහසුකම් ඉන්දියාවට වඩා වැඩිවීමයි.
උද්ගත වෙමින් පවතින තත්ත්වයෙන් මිදීමට කළ යුත්තේ කුමක්දැයි අප අවසානයේදී අප සංවාදයට මාතෘකා විය.
“අප්‍රේල් අවසන් සතිය, මැයි පළමු සතිය සහ දෙවැනි සතිය තුළ අසාමාන්‍ය විදිහට ආසාදිතයින් වැඩි වෙනවා පෙනුණොත් අපි කළ යුත්තේ පළවෙනි රැල්ලට මුහුණ දුන්නා වගේ කටයුතු කිරීම. රට යම් ලොක්ඩවුන් කිරීමකට ලක්කරලා ඇඳිරි නීතිය දාලා ආසාදිතයන් කලින් වගේම හොයලා වංසගතය පාලනයට දැඩි පියවර ගතයුතු වෙනවා. එසේ නොකර මිනිස්සු රටපුරා සංචරණය කරන්නට ඉඩ ලබාදුන්නොත් මේ තත්ත්වය පාලනය කිරීමට නොහැකි වෙන්නට පුළුවන්.”
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ ඇති කරගත් මෙම සංවාදයේදී පෙනී යන්නේ උද්ගත වෙමින් පවතින තත්ත්වය අතිශය බරපතළ බවයි. බලධාරීන් වගකීමක් සහිතව ක්‍රියා කළයුතු බව පැහැදිලිය. එසේම අප හා සම්මුඛ වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන පරිදි මහජනතාව ලෙස ඔබ වගකීම් සහගත විය යුතුමය.
චමිඳු නිසල් ද සිල්වා