කට නිසා මැරෙන මිනිසුන් අතරේ ජපනුන්ගෙ වාර්තාව..

අප සොයාගත් තොරතුරු නිවැරදි නම් වයස අවුරුදු සියයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වූ මිනිසුන් වැඩිම සංඛ්යාවක් වාර්තා වන්නේ ජපානයෙනි. එය අනුපාතයක් ලෙස කිවහොත් සෑම ජපාන වැසියන් ලක්ෂයකින් හතළිස් අටදෙනකුම වයස අවුරුදු සියයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වෙයි. සැබෑවටම එය පුදුමයකි.
එය කොතරම් නම් පුදුම කරුණක්ද කිවහොත් මෙම අනුපාතයට ළං වන්නට ලෝකයේ වෙනත් කිසිදු රටක් හෝ නැත. එම නිසාම ලෝකයේ වෙනත් රටවල මිනිසුන් ජපානය දෙස බලන්නේ පුදුමයෙනි. දැන් ප්රශ්නය වන්නේ ජපන් ජාතිකයන් වැඩි ප්රමාණයකට මෙසේ අවුරුදු සියයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත්වන්නට හැකියාව ලැබෙන්නේ කෙසේද යන්නයි. ඔව්, එය සොයාබැලිය යුතු රහසකි.
මෙසේ ජපන් ජාතියකයන්ට මෙතරම් ආයු වැඩීමට හේතුව ඔවුන්ගේ ආහාර රටාව බව යම් යම් සමීක්ෂණ හරහා හෙළිවෙමින් පවතියි. ඇමෙරිකානු පෝෂණවේදියකු වූ ඇන්සෙල් කීස් හැත්තෑව දශකයේදී මේ ගැන සොයාබැලූ බව සඳහන්ය. එසේම තවත් පෝෂණවේදියකු වන වෝල්ටර් විලට් අනූව දශකයේදී ලියන ලද පර්යේෂණ ලිපියක ජපානයේ අසාමාන්ය ලෙස දීර්ඝායුෂ ලබන්නන් ගැන සඳහන් කර තිබේ. එහි සඳහන් වන්නේ හෘදයාබාධ හේතුවෙන් මියයන මිනිසුන් ප්රමාණය ජපානයේ ඉතා අඩු බවයි. කෙසේ හෝ එහි වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ ජපන් වැසියන් අසාමාන්ය ලෙස දීර්ඝායුෂ ලැබීමට ඔවුන් ගන්නා ආහාර මූලිකවම බලපාන බවයි.
මේ අතර වෘද්ධ චිකිත්සාව (Geriatrics) සහ වෘද්ධ විද්යාව (Gerontology) සඳහා වන ජපානයේ පර්යේෂණ මධ්යස්ථානයේ වසංගත රෝග පිළිබඳ පර්යේෂක ෂූ ෂැන්ග් පෙන්වා දෙන්නේ ජපන් ආහාරය යනු ඉතා පුළුල් සංකල්පයක් බවයි. නමුත් එය අප කාටත් ආහාරයට ගත හැකි සුෂී බන්දේසියක් නොවන බව ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් ජපන් ආහාර සහ ඔවුන්ගේ සෞඛ්ය පිළිබඳ සිදුකර ඇති අධ්යයන තිස්නවයක වාර්තා මෑතකදී සමාලෝචනයට ලක්කර ඇති අතර එම වාර්තාවලින් වැඩි ගණනක පොදුවේ සඳහන් කර තිබුණේ ජපන් ජාතියකයන්ට මෙතරම් ආයු වැඩීමට හේතුව ඔවුන් ගන්නා කරදිය මාළු ඇතුළු සාගරයෙන් ලබාගන්නා ආහාරත් එළවළු, සෝයා බෝංචි සහ එමගින් නිෂ්පාදිත සෝයා සෝස් වැනි ආහාර වර්ග මෙන්ම බත් සහ මිසෝ සූපය (Miso Soup) මුලිකවම බලපාන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග පිළිබඳ පර්යේෂක ෂූ ෂැන්ග් පෙන්වා දෙන්නේ ඉහත කී ආහාර ලබාගැනීම මගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉතා අඩු බවයි. එසේම පිළිකා වැනි දරුණු ලෙඩ රෝගද එම ආහාර ලබාගැනීමෙන් නොසෑදෙන බව ඔහුගේ අදහසයි. සැබෑවටම ඔහුගේ අදහස් අනුව පෙනීයන්නේ එකී ආහාර වර්ග නිසා ජපානයේ සමස්ත මරණ අනුපාතිකය අඩුවී යන බවයි. මේ අතර වරක් ජපානයේ ටොහෝකු විශ්වවිද්යාලයේ ආහාර සහ අනුක ජීවවිද්යා අංශයේ සහකාර මහාචාර්ය ටිසුයෝෂි ටිසුඩුකි ජපන් ජාතිකයන්ට දීර්ඝායුෂ ලැබීමට ඔවුන්ගේ ආහාරවලින් කුමන වර්ගය නිශ්චිතවම හේතු වන්නේදැයි අධ්යයනයක නිරත වී තිබේ. එම අධ්යයනය ඔහු සිදුකර ඇත්තේ මීයන් යොදාගනිමින් අපූර්ව අන්දමකටය.
ඒ මෙසේය.
මහාචාර්ය ටිසුයෝෂි ටිසුඩුකි තම පිරිස සමඟ මුලින්ම කර තිබෙන්නේ ජාතික සමීක්ෂණ දත්ත උපයෝගී කරගනිමින් අනූව දශකයේදී ජපන් ආහාර වේල් කීපයක අඩංගු වූ ද්රව්ය සහ එම දශකයේදීම ඇමෙරිකානුවකුගේ ආහාර වේල් කීපයක අඩංගු වූ ද්රව්ය ලැයිස්තුගත කරගැනීමයි. පසුව ඔහු මෙම කෑම වර්ග සති තුනක් පුරා මීයන්ට කෑමට සලස්වා ඇත. අනතුරුව සමීක්ෂකයෝ මෙම මීයන් පිළිබඳ විමසිල්ලෙන් සිට තිබේ. එහිදී මීයන් කණ්ඩායම් දෙකකට වෙන වෙනම ආහාරයට දුන් මෙම ඇමෙරිකානු සහ ජපන් ආහාර නියැදිවල එකම ප්රමාණයට මේදය, ප්රෝටීන සහ කාබෝහයිඩ්රේට සමන්විත වූ බව සඳහන්ය. නමුත් අවසානයේ පැහැදිලි වූයේ ජපන් ආහාර ලබාදුන් මීයන්ගේ රුධිරයේ තිබුණු මේද ප්රමාණය අඩු මට්ටමක පැවතුණු බවයි. ඔවුන් එහිදී යෝජනා කර තිබුණේ එකම පෝෂ්ය පදාර්ථය සැපයෙන නමුත් ආහාර වර්ගය ඊට බලපා ඇති බවයි. එනම් මස් වෙනුවට මාළුත්, තිරිඟු වෙනුවට හාලුත් යනාදී වශයෙනි.
එයින් නොනැවතුණු ඔවුන් මෙම අධ්යයනය තවත් ගැඹුරට ගෙන ගොස් තිබේ. එහිදී පසුගිය අඩසියවස පුරා කාලයත් සමග ජපන් ආහාර වට්ටෝරුවල ඇතිවී තිබෙන වෙනස්කම් පිළිබඳ සොයා බලා ඇති අතර එහිදී පෙනී ගොස් තිබෙන්නේ විවිධ ජාතීන් වාසය කරන නාගරික ප්රදේශවල ආහාර රටාව ක්රමයෙන් බටහිර පන්නයට නැඹුරු වී ඇති බවයි. ඔවුන් යළිත් ජාතික දත්ත භාවිත කරමින් ජපානයේ ජාතික ආහාර වේල 1960, 1975, 1990 සහ 2005 යන වසර කාණ්ඩවලට වෙන්කර එම ආහාර වේල් මීයන්ට ලබාදී මෙම පර්යේෂණය ඉදිරියටම කරගෙන ගොස් තිබේ. එහි ප්රතිඵලය වූයේ සෑම ජපන් ආහාරයකින්ම එකම ප්රතිඵලය ලබා නොදෙන බවයි. ඒ අනුව 1975 වසර කාණ්ඩයේ ආහාර ලබාදුන් මීයන්ට දියවැඩියාව ඇතිවීමේ සහ අක්මාවේ මේදය ඇතිවීමේ අවදානම අවම වී තිබේ.
මෙම පර්යේෂණය දිගින් දිගටම සිදුකරද්දී අක්මාවේ මේදය නිපදවීම සඳහා සහාය වන ජාන අනෙකුත් නියැදිවල මීයන්ගේ සිරුරේ ක්රියාකාරී වී ඇති බව දැකගන්නට ලැබී ඇති අතර එසේ නොවූ මීයන්ට ලබාදුන් ආහාර මුහුදු පැළෑටි, මුහුදු මාළු, පලා වර්ග මෙන්ම පලතුරු සහ සම්ප්රදායික කුළුබඩුවලින් පොහොසත් වූ බව පැවසෙයි. තවද අධික සීනි ප්රමාණයක් ශරීරගත නොවන පරිදි විවිධ වූ ආහාර වර්ගවලින් මෙම මී නියැදිය පෝෂණය කළ බව සඳහන්ය. 1975 වසර කාණ්ඩයේ ආහාර ලබාදුන් මෙම මී නියැදිය පිළිබඳ දිගටම අධ්යයනය කරමින් සිටි අතර පසු කාලීනව මෙම මීයන් අනෙකුත් මීයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වූ බව සනාථ විය. ඔවුන් වයස්ගත වුවද නිරෝගී වූ බවත් ශාරීරික දුබලතා පෙන්වූයේ අඩුවෙන් බවත් සඳහන්ය.
අවසානයේ මෙම අධ්යයන වාර්තාවේ සඳහන් කර ඇත්තේ ජපන් ජාතිකයන්ගේ නිරෝගීව දීර්ඝායුෂ ලැබීමේ රහස ඔවුන්ගේ ආහාර රටාව බවයි. එම ආහාර රටා මගින් මානව ශරීරයට යහපත් බලපෑමක් ඇති කරන බව පැවසෙයි. එපමණක් නොව ජපන් ආහාරවල පවතින පෝෂ්ය පදාර්ථ මෙන්ම එම ආහාර පිළියෙල කරන ආකාරයද ඊට වැදගත් වී ඇති බව සඳහන් වෙයි. සරලවම කිවහොත් ජපන් ජාතිකයන් දීර්ඝායුෂ ලැබීමේ රහස එයයි.
ඔබටද ජපනාගේ රහසින් දීර්ඝායුෂ ලැබිය හැකි බව අපේ විශ්වාසයයි. ඊට කළ යුතු එකම දේ වන්නේ යහපත් මෙන්ම පෝෂ්යදායී ආහාර රටාවක් පවත්වාගෙන යෑමයි. එසේ කළහොත් ජීවිත ගමනේ ශතකය පසුකිරීම අමාරු නැත. ජපනා කොයිදේ අතිනුත් හපනා යැයි පැවසීමට මෙයද එක් හේතුවකි.
රුවන් එස්. සෙනවිරත්න

.

Back to top button