අරුන්දිකගේ පුතා හිරේ.. රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදුන් සිද්ධිය..

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත් අවින්ද ප්‍රනාන්දු ඇතුළු සෙසු සැකකරුවන් 06 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකරුවන් සය දෙනා අද (03) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී යි.

ඒ අනුව එම සැකකරුවන් පිරිස එළඹෙන 07 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පෙරේදා (01) රාත්‍රියේ සිදු කළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.

මෝටර් රථ කිහිපයකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ එහි පැමිණ මෙම පහරදීම සිදු කෙරුණු බවයි වාර්තා වුණේ.

පහරදීම සඳහා පිරිස පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් එක් මෝටර් රථයක් සිසුන් විසින් නේවාසිකාගාර භූමිය තුළ රඳවා තබාගෙන තිබූ අතර, පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ මෝටර් රථය තම භාරයට ගනු ලැබුවා.

පහරදීමට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියක් ද නේවාසිකාගාර පරිශ්‍රයේ තිබී හමු වූ අතර එම හැඳුනුම්පතට අනුව අදළ පුද්ගලයා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන්ට එල්ල වන චෝදනා ඔප්පු වුවහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

කෙසේවෙතත් අදාළ සිද්ධියෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය අමාත්‍යවරයා නිර්දෝෂී යැයි ඔප්පු වන තෙක් සිය ධුරවලින් ඉවත් වන ලෙසට ද දැනුම් දී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ලිපියක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ සිදුවීමට මුල් වී ඇත්තේ සිව්වැනි සහ තෙවැනි වසර පීඨයේ ශිෂ්‍ය අර්බුදයක් බවත්, සිව්වැනි වසර විසින් තෙවැනි වසර කණ්ඩායමට උපදෙස් ලබාදීමට උරණ වී මෙම පහරදීම දේශපාලන හස්තයක මැදිහත් වීමෙන් යුතුව සිදු කෙරුණු බවයි.

කෙසේවෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තරාතිරමක් නොබලා වැරදිකරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වහාම විමර්ශනයක් අරඹන ලෙසට ද ඊයේ (02) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර උපදෙස් ලබා දුන්නා.

Back to top button