ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ගෑස් බෙදා හැරීම නවතයි..

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් බෙදා හැරිම අත්හිටුවා ඇති බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සභාපතිවරුන් ප්‍රකාශ කරනවා.

මීට හේතු වී ඇත්තේ, මේ වන විට අදාළ ගෑස් සමාගම් දෙකම සතුව ප්‍රමාණවත් ගෑස් තොග නොමැති වීමයි.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ඩොලර් හිඟය හේතුවෙන් ගෑස් මිල දී ගැනීමට අවශ්‍ය විදේශ ණය අණකර විවෘත කිරීමට නොහැකි වී තිබෙනවා.

අවසන්වරට මීට දින හයකට පෙර දිවයිනට ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් සහිත නෞකාවක් පැමිණි අතර, එම ගෑස් තොගය දින දෙකකට ආසන්න කාලයක් තුළ දී බෙදා හැර අවසන් වුණා.

ඒ අතරින් යම් කොටසක් කර්මාන්ත ශාලා සහ අදාහනාගාර සඳහා වෙන් කර තැබුණු අතර, සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා නිකුත් කිරීම් අවසන් කළ බව යි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ.

මේ අතර, දිවයිනේ දෙවැනි විශාලතම ගෑස් සපයන්නා වන ලාෆ් ගෑස් සමාගම දැනට මාස හයකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන්ගේ සම්පූර්ණ ධාරිතාවෙන් ගෑස් තොග නිකුත් කරන්නේ නෑ.

ලිට්‍රෝ සමාගම දිනකට පාරිභෝගිකයන් සඳහා සාමාන්‍ය ගෘහසථ ගෑස් සිලින්ඩර 125,000ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන අතර, ලාෆ් සමාගම දෛනික ව නිකුත් කළ ගෑස් සිලින්ඩර 40,000කට ආසන්න ප්‍රමාණය දිනකට ගෑස් සිලින්ඩර 2,000 දක්වා පහත දැමුණා.

මෙම බරපතළ ගෑස් හිඟය හේතුවෙන් මේ වන විටත් කොළඹ නගරය ඇතුළු දිවයිනේ බොහෝ ආපණ ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති අතර, මේ හේතුවෙන් ආපණ ශාලා බොහෝමයක් වසා දමා ඇති අයුරු දැක ගන්නට පුළුවන්.

Back to top button