ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්..

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව අද (22) පෙරවරුවේ භූ කම්පනයක් හටගෙන තිබුණි. එහි ප්‍රබලත්වය සටහන්ව තිබුණේ රිච්ටර් පරිමාණය ඒකක 5.8ක් ලෙසිනි.

භූ කම්පනය හටගෙන තිබුණේ අද පෙරවරු 9.15ට පමණය. මෙල්බර්න් නගරයට නුදුරු මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ එහි අපිකේන්ද්‍රය සටහන්ව තිබුණි. එය නැගෙනහිර ඔස්ට්‍රේලියාවට බලපෑ විශාලතම භූ කම්පනවලින් එකක් ලෙස සැලකෙයි.

භූ කම්පනය සිදුවූ අවස්ථාව CCTV කැමරාවල ද සටහන්ව තිබුණි. මිනිත්තු 15කට පමණ පසු රිච්ටර් පරිමාණය ඒකක 4ක් ලෙස සටහන් වූ පසු කම්පනයක් ද වාර්තා වී තිබුණි. ඉන් ගොඩනැගිලි රැසකට හානි සිදුවී තිබේ.

පළමු භූ කම්පනය මෙල්බර්න් නගරයේ සිට කිලෝමීටර් 190ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශවලටත් දැනී ඇති බව වාර්තාවේ.
වික්ටෝරියා කලාපය, සිඩ්නි, නිව් සවුත්වේල්ස් කලාපය, ඇඩිලේඩ් , තස්මේනියාව මෙන්ම කැන්බරා අගනුවරත් එම ප්‍රදේශ අතර වේ.

මෙල්බර්න් හි මහල් නිවාසවල වෙසෙන පුද්ගලයන් ඉන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් පුද්ගල මරණ හෝ දරුණු ලෙස තුවාල ලැබීම් කිසිවක් වාර්තා වී නැහැ.

Back to top button