අද අලුයම දෙව්ලොව වැඩි නැදුන්ගමුවේ රාජා..

මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද (7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.

මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.

මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවන්නේ මංගල ලක්ෂණ සහිතව උපන් පෙරපින් ඇති ඇතකුට පමණී. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්තය. ඒ උතුම් කාර්යය ඉටුකරන්නට කල්ප කාලාන්තරයක් පෙරුම් පුරා මේ භවයේදී පින් සැපිරූ නැදුන්ගමුවේ රාජා උපන්නේ මෙයට 68 වසරකට පෙර බුදුන් උපන් දේශයේය. අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ලක් දෙරණට පා තැබූ රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැරිවය.

ඉන්දියාවේ සිට නැව් නැඟ මෙරටට ගොඩබට දිනයේ සිට මේ වන තෙක්ම වාහනයක ගමන් ගෙන නැති රාජා දිවයිනේ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වීමට ගෙවා ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර දහස් ගණනකි. ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගිවී යන්නට එන්නට පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද යයි. උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලයි.

“මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඬුව අවුරුදු 50 ක් පමණ එක දිගට වැඩමකර වූ දළදා මාලිගාවේ ඇත්පන්තියේ රාජා ඇතා මිය ගියාට පස්සේ එකදිගට කරඬුව වැඩම කරවන්න හොඳ ඇතෙක් හිටියේ නැහැ. ප්‍රදීප් නිලංග දෑලයන් 2005 වසරේදී මුල්වරට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්වුණාම අපේ ඇතා නුවර පෙරහරට සම්බන්ධ කරන්න කියලා එතුමා ඉල්ලීමක් කළා. අපිට ගම්පහ ඉඳලා නුවරට යන්න දවස් හයක් ගත වුණා. මමත් එදා තාත්තා එක්ක නුවර ගියා. දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළට යන්න ඇතා කැමැති වුණේම නැහැ. පුරුදු නැති නිසා බයක් ඇතිවෙන්න ඇති. පස්සේ දළදා වහන්සේට බාර කරලා අටපිරිකරක් පූජා කළා. ඒ කරලා හා යං කිව්වම ගියා. මාලිගාවේ කරඬුව වැඩමවන ඇතාගේ පිටේ රන්සිවිගෙය තියන්න කලින් හම්වලින් හදපු අඟල් පහක් විතර පළල පටි ඇතාගේ උදරය වටේට දානවා. මාලිගාවේ තිබ්බේ මැරුණු රාජාට දාපු පටි. අපේ ඇතාගේ ඇඟ මහත නිසා ඒපටි එයාට හරිගියේ නැහැ. පෙරහර පටන්ගෙන නිසා අලුතින් පටි හදවන්න කාලයක් තිබ්බෙත් නැහැ. ඒනිසා 2005 දී පෙරහරට සම්බන්ධ වුණත් අපේ ඇතාට කරඬුව වැඩම කරන්නේ නැතුව පෙරමුණේ යන්න වුණා. පස්සේ අවුරුද්දේ තාත්තා මිය ගියා. ඒ අවුරුද්දේ අලුතින්ම බඳපටි හදවලා රාජා මතින් කරඬුව වැඩෙමෙව්වා” නැඳුන්ගමුවේ රාජාගේ හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය ඇතුගේ පළමු පෙරහර ගමන පිළිබඳ ව සිහිපත් කළේ එසේය.

‘ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහරාජා කෙනකුගේ ඥාතියකුට වැලඳී තිබූ දරුණු මානසික රෝගයක් ප්‍රකට නිලම්මහර වෙදපරපුරේ පිළියන්දල වෙද හාමුදුරුවන් විසින් සුවකර කරනු ලැබීමෙන් පසු සතුටට පත් මහරාජා හාමුදුරුවන්ට ඉන්දියාවට වඩින ලෙස ආරාධනාවක් කරලා තියෙනවා. එහෙට වැඩියට පස්සේ මහරාජා කියලා තිබෙනවා හාමුදුරුවන්ට කැමැති ඕන දෙයක් ඉල්ලන්න මම දෙන්නම් කියලා. හාමුදුරුවෝ ඇත් පැටවු දෙ‍න්නෙක් ඉල්ලලා. ඒ අනුව මහරාජාගේ ඇත්ගාලෙන් වයස අවුරුදු 05 ක් පමණ වෙන ඇත් පැටවු දෙන්නෙක් පූජා කරලා. රාජාත් එක්ක එදා නැවෙන් ගෙනාපු අනිත් ඇත් පැටියා තමයි නවම්රාජා.

ගංගාරාමයේ සිටි නවම්රාජා අවුරුදු කීපයකට කලින් මිය ගියා. හාමුදුරුවෝ ළඟ මේ ඇත් පැටව් දෙන්නා අවුරුදු 15 ක් විතර ඉඳලා තියෙනවා. ඒ දෙන්නව බලා කියා ගන්න කරදර නිසා උන්වහන්සේ එක් පැටියෙක් ඇඹිලිපිටියටත් අනෙක් පැටියා හොරණ උඩුව වලව්වටත් විකුණලා තිබෙනවා. පී. ඩී. පී ධර්මවිජය වෙද රාළහාමි තමයි මගේ තාත්තා.1978 හොරණ වලව්වෙන් තාත්තා රාජාව අරන් තියෙන්නේ රුපියල් 75,000ක මුදලකට. එදා සිට මේ දක්වා කිසිදු අවස්ථාවක ඇතාට අපි ඉංග්‍රීසි බෙහෙත් දීලා නැහැ. පාරම්පරික වෙද පරම්පරාවකින් පැවත එන නිසා ඇතාට අවශ්‍යය බෙහෙත් අපිම හදලා දෙනවා. ඉඳලා හිටලා බඩේ අමාරුවක් ආවම මම කරන්නේ ඖෂධ කොළ කොටලා කවන එකයි. දැන් අවුරුදු 30 විතර ඉඳලා මෙයාගෙන් කිසිම වැඩක් ගන්නේ නැහැ. කිතුල් කොටයක් කන්න එයාම උස්ස ගත්තොත් මිසක් කිසිම කොටයක් අපි උස්සන්න දෙන්නේ නැහැ‘ රාජාගේ හිමිකරු වෛද්‍යාචාර්ය ධර්මවිජය පවසන්නේය.

Back to top button