හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්නේ. මාර්තු මාසේ අවසාන දවස්වල ඉඳන් ගමේ නගරේ හැම කෙනෙක්ම අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙනවා. පරිසරය අලුත් වෙලා අවුරුදු ළඟ බව කොහාත් අපිට කියනවා. හැබැයි ගිය අවුරුද්දේ අපිට හරියට අවුරුදු සමරන්න බැරි වුණා. ඒ කොරෝනා වයිරසය ලංකාව පුරා පැතිරීම නිසා. හැමෝම තම තමන්ගේ ගෙවල්වලට වෙලා පුළුවන් විදියට අවුරුදු සැමරුවා.
වෙනදා ආච්චිලා සීයලාගේ ගමේ යන පුංචි ළමයි ටිකත් ගෙදරටම කොටු වුණා. ඒ අපේම ආරක්ෂාව වෙනුවෙන් ලංකාව පුරාම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුණු නිසා බොහෝ දෙනෙක්ට තමන්ගේ රැකියව පවා අහිමි වුණා. සෑහෙන පීඩාවකින් හිටිය අපිට ටිකක් හරි සහනයක් ලැබුණා කොරෝනා රෝගීන් අඩු වීමත් එක්කම. ඒත් නැවත කොරෝනා දෙවන රැල්ල පැමිණියත් පෙර පරිදි රට පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුණේ නෑ. එයට හේතු වූයේ සාමාන්‍ය ජනයාගේ එදිනෙදා කටයුතු කරගන්න අවශ්‍ය නිසා. නමුත් නිතර නිතර මාධ්‍ය හරහා පැවසුවේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපයා ගන්නා ලෙසයි. කණ්ඩායම් ගත දේවල් සඳහා එක්විය හැකි පිරිස සීමා කරන්නටත් වුණා. එහෙත් මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමඟම ජනතාවට කොරෝනා වසංගතය අමතක වුණා. පොදු ප්‍රවාහනවල, වෙළෙඳ සංකීර්ණවල, ඇඳුම් කඩ සාප්පුවල ජනතාව පිරී ඉතිරී ගියා. කොරෝනා වසංගතය අමතක කොට එවැනි දෙයක් තිබුණායැයි මතකයත් අමතක කොට ඔවුනොවුන්ගේ වැඩ කටයුතු කර ගන්නට වුණා.
එක දවසක ප්‍රීතිය වෙනුවෙන් දරුණු වයිරසයක ව්‍යාප්තිය පවා අමතක කිරීමම කෙතරම් ඛේදජනක සිද්ධියක්දැයි සිතා ගැනීමටවත් නොහැකියි. රෝගයේ බරපතළකම දැන දැනත් මේ ආකාරයට හැසිරෙන ජනතාව තුළ සමාජ සාක්ෂරතාව නොමැතිදෝයි යන සැකයත් ඇති වීම වළක්වන්න බෑ. අද වන විට එලෙස හැසිරීමේ ප්‍රතිවිපාක ලැබෙමින් පවතිනවා. නැවතත් අහඹු පීසීආර් පරීක්ෂණ සිදු කිරීම, මහරගම පමුණුව ප්‍රදේශයේ කඩසාප්පු දෙකක් වසා දැමීම මෙහි ආරම්භයක් වන්නට පුළුවන්. අවුරුදු නිසා කොරෝනා ඉවරයි කියා සිතූ ජනතාවට මේවා දැකීමෙන් තමන්ගේ වරද තේරුම් ගත හැකි වෙයිද? බුද්ධිමත් ජනතාවක් ලෙස හැසිරුණා නම් මෙවැනි දේ වළක්වා ගැනීමට ඉඩකඩ තිබුණ බව වටහා ගත හැකිය.
කේ.ජේ.සවින්ද්‍යා මධුෂාණි