ලොව පුරා රටවල ඇති න්‍යෂ්ටික අවි ගණන මෙන්න..

රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් දින කිහිපයකට පසුව ගත් තීරණයක් හේතුවෙන් මුළු ලොවම බියෙන් සලිත වුණි.

එහිදී ඔහු තීරණය කර තිබුණේ රුසියාවේ “න්‍යෂ්ටික බලඇණි” විශේෂ අවධානයකින් තැබීමටය.

විශ්ලේෂකයින් පවසන්නේ එම පියවර, යුක්‍රේන ගැටුමට මැදිහත් නොවන ලෙස අන් රටවලට කළ අනතුරු ඇඟවීමක් ලෙසය.

නමුත් ඔහු එම අවි භාවිත කිරීමට ඉඩ ඇති බවට ඉන් නොහැඟෙන බව ඔවුන් පෙන්වා දෙයි.

වසර 80ක පමණ කාලයක සිට රටවල් කිහිපයක් සතුව න්‍යෂ්ටික අවි ඇති අතර එය ඒ ඒ රටවල ජාතික ආරක්ෂාවට වැදගත් දෙයක් ලෙස සැලකෙයි.

මෙතෙක් ලොව ඇති න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ඇත්තේ අනුමාන අගයක් බව අමෙරිකානු විද්‍යාඥයන්ගේ ෆෙඩරේෂණය පැවසීය.

මෙතෙක් හඳුනාගෙන ඇති ආකාරයට රුසියාව සතුව න්‍යෂ්ටික අවි 5,977ක් තිබේ.

ඉන් 1500ක් පමණ භාවිතයට නොගෙන ඉවත්කිරීමට නියමිත බව සඳහන් වෙයි.

ඒ අනුව ඉතිරි අවි අතර උපායමාර්ගික වශයෙන් වැදගත් වන බැලස්ටික් මිසයිල සහ රොකට් අවි අඩංගුය.

සාමාන්‍යයෙන් එවැනි අවි අවශ්‍ය වන්නේ න්‍යෂ්ටික අවි භාවිතයෙන් කෙරෙන යුද්ධයක් සඳහා බව පිළිගත් මතය වේ.

රුසියාව සතු න්‍යෂ්ටික අවි:

අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල – 1,185
සබ්මැරීන මගින් එල්ලකළ හැකි බැලස්ටික් මිසයිල – 800
ප්‍රහාරක යානා මගින් එල්ලකළ හැකි න්‍යෂ්ටික බෝම්බ –  580

ඉතිරි න්‍යෂ්ටික අවි හානිය අඩු එසේම කෙටිදුර සඳහා භාවිතකළ හැකි අවි ලෙස සැලකෙයි.

රුසියාව ද ඇතුළුව රටවල් 9කට න්‍යෂ්ටික අවි ඇති බව හඳුනාගෙන තිබේ.

එම රටවල් වන්නේ, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඊශ්‍රායලය, උතුරු කොරියාව, පාකිස්තානය, අමෙරිකාව සහ එක්සත් රාජධානිය.

එක් එක් රට සතු න්‍යෂ්ටික අවි ගණන,

රුසියාව – 5,977
අමෙරිකාව – 5,428
චීනය – 350
ප්‍රංශය –  290
එක්සත් රාජධානිය – 225
පාකිස්තානය – 165
ඉන්දියාව – 160
ඊශ්‍රායලය – 90
උතුරු කොරියාව – 20

දෙවැනි ලෝක යුද්ධයේදී 1945 අගෝස්තු ජපානයේ හිරෝෂිමා නගරයට හෙළු න්‍යෂ්ටික බෝම්බයේ බර  ටොන් 15කි.

ඉන් මියගිය පිරිස 146,000ක් පමණ විය.

නමුත් දැනට නිර්මාණය කර ඇති සමහර න්‍යෂ්ටික අවිවල බර  ටොන් 1,000 ඉක්මවා තිබේ.

එවැනි න්‍යෂ්ටික බෝම්බයක් පුපුරා ගියහොත් සිදුවිය හැකි විනාශය සිතාගැනීමටත් නොහැකි බව විශ්ලේෂකයෝ පවසති.

Back to top button