අගමැති ආරක්ෂකයා පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ව එලවයි..

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආවරණය කිරීම සදහා පැමිණි විද්‍යුත් නාළිකා නියෝජනය කරන මාධ්‍යවේදීන් අපහසුතාවයට පත්කරමින් හැසිරුණු අගමැති ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකු හට ‌වේත්‍රධාරී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා දැඩිව අවවාද කොට ඇති බව වාර්තා වේ.

දැනගන්නට ඇති ආකාරයට ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීම පැවැත්වෙද්දී වෙනදා මෙන්ම මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් පිටත රැදී සිට ඇත්තේ රැස්වීම නිමවා පැමිණෙන මැතිඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහාය.

මේ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ ඇති අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියකු අදාළ මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර මාධ්‍යවේදීන් ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ එසේ ඉවත් වීමට නොහැකි බවත්, මීට පෙරද මෙම ස්ථානයේ සිට මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ගත් බවත්ය.

එහිදී මෙම අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියා මාධ්‍යවේදීන් අපහසුතාවට පත් කරමින් සිරස මාධ්‍යවේදියාගේ හැදුනුම්පත පෙන්වන ලෙස දැනුම් දී තිබේ.

කෙසේවෙතත් මෙම සිදුවීම අතරතුර එහි සිටි තවත් මාධ්‍යවේදියකු දුරකතනයෙන් ‌‌වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හට සිද්ධිය පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ප්‍රනාන්දු මහතා දුරකතනය අදාළ අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියාට ලබා දෙන ලෙස දැනුම් දී තිබුණද එම නිලධාරියා දුරකතනය නොගෙන තමන්ට කිසිවකුගේ උපදෙස් අවශ්‍ය නැති බව සදහන් කොට තිබේ.

අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියාගේ මෙම පිළිතුරත් සමග කෝපයට පත්ව ඇති නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වහාම එම ස්ථානයට පැමිණ පාර්ලිමේන්තුවේ වගකීම ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරීන්ට නොව තමන්ට බව සදහන් කරමින් අදාළ අගමැති ආරක්ෂක අංශයේ නිලධාරියා හට බැන වැදී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මාධ්‍ය සංගමය විසින් නිල පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත.

කෙසේවෙතත් පසුව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මුණ ගැසී ඇති අගමැති ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ

Back to top button