ධනවත් පුද්ගලයින්ට නීතියට උඩින් ඉන්න බෑ – ලොව සුපිරි ක්‍රීඩකයා එලවමින් ඕස්ට්‍රේලියාවෙන් පාඩමක්..

ලොව පිරිමි ටෙනිස් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානයේ පසුවන නොවාක් ජොකොවිච් කොවිඩ් එන්නත් ලබා නොගත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් සත්‍යය හෙළි නොකළහොත්, ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ යුතුයැයි එරට නියෝජ්‍ය අගමැති ප්‍රකාශ කරයි.

ධනවත් පුද්ගලයින්ට “තමන් ඉන්නේ නීතියට උඩින් කියලා හිතාගෙන ලෝකේ වටේ ඇවිදින්න බෑ,” බානබි ජොයිස් ප්‍රකාශ කළේ ය.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණි ජොකොවිච්ට එරටට ඇතුළුවීමට අවසර නොලැබුණෙන්, ඔහු දැන් සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවෙයි.

ඔහු එරටින් පිටුවහල් කරන්නේ ද යන්න අධිකරණ විසින් ජනවාරි 10 වැනි සඳුදා දිනයේ දී තීරණය වනු ඇති.

තිස්හතර හැවිරිදි සර්බියානු ක්‍රීඩකයා, තමා එන්නත්කරණයට විරුද්ධබව ප්‍රසිද්ධියේ පවසා තිබේ. මෙල්බර්න්හි පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා හෙළි නොකළ හේතූන් මත එන්නත නොගැනීමේ අවසරය ඔහුට ලබා දී තිබීම බොහෝ ඕස්ට්‍රේලියානුන් කෝපයට පත්කළ තීරණයකි.

මෙසේ එන්නත ගැනීමෙන් ඔහු නිදහස්කර ඇත්තේ තරගාවලිය මෙහෙයවන ‘ටෙනිස් ඕස්ට්‍රේලියා’ සංගමයෙන් සහ වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් පත්කළ ස්වාධීන වෛද්‍ය මඬුලු ද්විත්වයක් විසින් බැව් තරගාවලියේ සංවිධායකයෝ පවසති.

නමුත් ජනවාරි 5 වැනි දා ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නිලධාරීන් පැවසුවේ, ඩුබායි සිට පැමිණි ජොකොවිච් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා “අවශ්‍ය කෙරෙන සාක්ෂ්‍ය සැපයීමට අපොහොසත් වූබව” යි. මෙල්බර්න් නගරාසන්නයේ පිහිටි, සංක්‍රමණිකයින් රැඳවීම සඳහා භාවිතා කරන හෝටලයක ඔහු රඳවා සිටියි.
ඔහු නිසි පරිදි ආකෘත පත්‍ර පුරවා නැති නම්, ඔහු වෙනත් ජාතියක ස්වෛරී හැකියාව විහිළුවකට අරගෙන තියෙනවා,” ජොයිස් BBCහි වැඩසටහනක දී ප්‍රකාශ කළේ ය. “කවුරුහරි 100%ක්ම වැරැද්දක් කරලා තියෙනවා. ජොකොවිච් මහත්මයා සත්‍යය ප්‍රකාශ කරලා නැති නම්, එම වැරැද්ද කළ පුද්ගලයා ඔහු යි.”

“තමන් ගොඩක් පොහොසත් නිසා, තමන් අනෙක් ජාතීන්ගේ නීතිවලට උඩින් ඉන්නවා කියලා හිතාගෙන ලෝකේ වටේ කරක්ගහන්න කාටවත් බැහැ,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජොකොවිච්ගේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ තීරණය අභියෝගයට ලක්කර ඇති අතර, ජනවාරි 10 දා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිත ය. නඩු විභාගය පැවැත්වෙන තෙක් එම හෝටලයේම රැඳී සිටීමට ජොකොවිච්ට සිදුවනු ඇත්දැ යි තවමත් පැහැදිලි නැත.

මීට පෙර, ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, ජොකොවිච්ට වෙනස්කොට සලකන්නේ ය යන චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර, කිසිවෙකුත් එරට නීතියට වඩා ඉහළින් නොසිටිනබව පැවසීය. ජොකොවිච් එන්නත ලබාගැනීමෙන් නිදහස් කිරීමට හේතුව අනාවරණයකර නොමැති නමුත්, අගමැති මොරිසන් ප්‍රකාශ කරන්නේ පසුගිය මාස හය තුළ කොවිඩ්-19 ආසාදනය වී තිබීම එන්නත නොගැනීමේ නිදහස ලබාදීමේ ෆෙඩරල් නිර්ණායකයක් ලෙස නොසැලකෙනබව යි.

මුල දී, ජොකොවිච් සහ අනෙකුත් ටෙනිස් ක්‍රීඩකයින් එන්නත ලබාගැනීමෙන් නිදහස් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ගත් තීරණය තමන් පිළිගන්නාබව අගමැති මොරිසන් ප්‍රකාශ කළේ ය.

විශාල ජනතා විරෝධයක් එල්ලවෙද්දී මෙම ගැටලුව දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට දැන් චෝදනා එල්ලවී තිබේ. රට තුළ කොවිඩ්-19 ආසාදනයන් සංඛ්‍යාව වැඩිවීමත් සමග අගමැතිවරයාට දැඩි පීඩනයක් එල්ලවෙමින් පවතින අතර, මැයි මාසයේ දී ෆෙඩරල් මැතිවරණය ද පැවැත්වෙනු ඇත.

මෙම සිදුවීම නිසා, ජොකොවිච් “හිංසාවේ” ගොදුරක්ව සිටිනබවත්, “මුළු සර්බියාවම” ඔහුට සහාය දක්වනබවත් සර්බියානු ජනාධිපති අලෙක්සාන්දර් වූචිච් විසින් ප්‍රකාශ කෙරිණි. වීසා අවලංගු කිරීම සිදුවූයේ “සර්බියාව සම්බන්ධ කිසිදු විශේෂිත කාරණාවක්” නිසා ය යන චෝදනාව අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කළේ ය.

ජොකොවිච්ගේ පියා, සර්ජන්, කියා සිටින්නේ තම පුත්‍රයා පොලීසිය විසින් මුරකරනු ලබන ගුවන්තොටුපොළ කාමරයක රඳවාගෙන සිටිනබව යි. “මේක නොවාක් වෙනුවෙන් විතරක් කරන සටනක් නෙවෙයි, මුළු ලෝකයම වෙනුවෙන් කරන සටනක්,” ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු සඳහන් කළේ ය.

තරගාවලියට සූදානම්වීම සඳහා මෙල්බර්න් නුවරට පැමිණ සිටින ස්පාඤ්ඤයේ ආරම්භක ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල් පවසන්නේ, ඕස්ට්‍රේලියානුවන් “මේ සම්බන්ධයෙන් දැඩි කලකිරීමකට” පත්ව සිටීම “සාමාන්‍ය” බව යි.

“මට පැහැදිලි එකම දේ තමයි, තමන් එන්නත් ලබාගෙන තියෙනවා නම්, ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියට ක්‍රීඩා කරන්න තමන්ට පුළුවන්යැ,”යි කියූ ඔහු මෙසේ ද ප්‍රකාශ කළේ ය: “ඇත්තෙන්ම, අවුරුදු දෙකක් තිස්සේ ගොඩක් මිනිස්සු මරණයට පත්වෙමින් ඉන්නවා. මට දැනෙන විදියට වසංගතය නවත්වන්න පුළුවන් එකම ක්‍රමේ එන්නත තමයි.”

නමුත් ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ හිටපු අධ්‍යක්ෂ පෝල් මැක්නැමී දේශීය මාධ්‍ය වෙත පවසා සිටියේ, එක්වරම වීසා ප්‍රතික්ෂේප වීම බලාපොරොත්තු නොවූ දෙයක් සේම, එහි දේශපාලනය ගෑවී ඇති බවට හැඟෙන බවයි.

ABC මාධ්‍ය ජාලය වාර්තා කළ පරිදි, මේ වන විට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු එන්නත් ලබා නොගැනීමට ලද වෛද්‍ය අවසරය නැවත පරීක්ෂා කෙරෙමින් පවතියි. වීසා ලබාගැනීම සඳහා සැපිරිය යුතු අවශ්‍යතා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් ටෙනිස් ඕස්ට්‍රේලියා වෙත මින්පෙර දැනුම්දීම් සිදුව ඇතැ යි අගමැති මොරිසන් පැවසීය.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජනවාරි 17 දා ආරම්භ වෙයි. ජොකොවිච් මින් පෙර නව වතාවක දී මෙම තරගාවලියේ ශූරතාව දිනා ඇත.

Back to top button