නුවරවැව ගොඩ කරන කැබිනට් ඇමති..

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු බැකෝ යන්ත්‍ර දෙකක් සහ ලොරි යොදාගෙන මහා පරිමාණයෙන් නුවරවැව ගොඩ කරමින් සිටින බව අනාවරණය වේ.

ඉකුත් සතියේ මෙලෙස බැකෝ යන්ත්‍ර යොදාගෙන නුවර වැව ගොඩ කරමින් තිබිණි.

මෙම කැබිනට් ඇමැතිවරයාගේ නිවස ආසන්නව ඇමැතිවරයාට අයත් හෝටලයක නවීකරණ කටයුතු මේ දිනවල සිදු කෙරේ.

මෙම හෝටලය අනුරාධපුර පෞරාණික වැවක් වන නුවර වැවට ආසන්නව පිහිටා තිබෙන අතර වැව ගොඩකරමින් හෝටලයේ ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

වැව පිටාර ගලන අවස්ථාවලදී හෝටලය සහ ඉඩම යටවීම පාලනය කිරීම සඳහා අදාළ ඇමැතිවරයා වැවේ පිටවාන තවත් උස් කිරීමේ සූදානමක් පවතින බවට ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

හෝටලය පිටුපසින් පිහිටි නුවර වැවේ රක්ෂිත කලාපය රාත්‍රි කාලයේදී ගොඩ කිරීම සිදුකෙරේ. අනුරාධපුර නගරයෙන් පිටත ප්‍රදේශ වලින් ලොරි වලින් පස් ගෙනැවිත් රාත්‍රි කාලයේදී වැව් රක්ෂිතය ගොඩ කිරීම දිගින් දිගටම සිදුකෙරේ. ගොවීන් නුවර වැවෙන් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු කරන සිය ගණනක් අනුරාධපුර නගරයේදී පසුගියදා විරෝධතාවක නිරත වූහ.

නුවර වැව් රක්ෂිතය එළි පෙහෙළි කිරීම පිළිබඳව අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.ඩී. මැදිවකගෙන් පුවත්පතක් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ ඉඩම ගොඩ කිරීම සම්බන්ධව වාරිමාර්ග ඉංජිනේරුවරයා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කර තිබෙන බවය. එමෙන්ම, නුවරවැව රක්ෂිතය මැනුම් ගත කිරීම සඳහා අනුරාධපුර, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්වරයා මැනුම්පතිවරයාට දැනුම්දී තිබෙන බවත්, එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව වැව් රක්ෂිතයේ අනවසරයෙන් අල්ලාගෙන තිබෙන ඉඩම් ප්‍රමාණය පිළිබඳව නිසි තහවුරුවක් ලබාගත හැකි බවද අධ්‍යක්ෂවරයා කීවේය.

මෙවැනි කටයුතු නතර කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පමණක් නොව අනෙකුත් රාජ්‍ය ආයතනද සම්බන්ධ විය යුතුයි. එබැවින් වැව් රක්ෂිතය ගොඩ කරන්නේ නම්, ඊට පස් ප්‍රවාහනය සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කෙරෙන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් බවද ඔහු පැවසීය.

වසර සිය ගණනක් පැරැණි නුවර වැව රක්ෂිතය එළි පෙහෙළි කර ගොඩ කිරීම සම්බන්ධව තමන්ට තවමත් පැමිණිල්ලක් ලැබී නැති බවත්, මේ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පැවසීය.

Back to top button