මෙදා සිංහල අවුරුද්ද ගෙදර එන්නේ අමුතුම තාලෙකටය. අවුරුද්ද කඩුල්ල පනින්නට පෙරම අහන්න දකින්න ලැබුණේම අමුතු ප්රවෘත්තීන්ය.
‘පොල්තෙල්වල වස’ කියා මාතෘකාවක් මුලින්ම ආවේය. ඒ රස්නෙ මැකෙන්නටත් පෙරම හදිසියේම මතුව ආවේ ‘පාම් ඔයිල්’ ප්රශ්නයකි.
‘පාම් ඔයිල් තහනම්’ කියූ තරමින් අපිට ඕක ඒ තරම්ම දැනුණේ නැත. හැබැයි පාම් ඔයිල් ගැන හරියටම දැනගත් විට හුඟදෙනෙක්ට හත්දා උණ ගැනුණේය. සත පහක වැඩක් නැතැයි සිතූ පාම් ඔයිල් අපි කොච්චර නම් කෑම බීමවලින් ඇඟට දාගෙන ඇත්දැයි හරියටම දැනගන්නේ නම් මේ ප්රශ්නය කොයි තරම්ම නරක අතට හැරී ඇත්දැයි ඔබට තේරුම් බේරුම් වෙනු ඇත. ඇත්තටම ඔබ මේ කතාව කියවිය යුත්තේත්, අපි මේ කතාව ලිවිය යුත්තේත් මේ කාලයේය. ඒ හෙට අනිද්දාම අවුරුද්දට බඩු මල්ලක් ගෙදර ගෙනියන්නට ඔබ සූදානම් නිසාය.
සාමාන්යයෙන් අපි වස විස ගෙදරට නොගන්නට පරිස්සම් වූ ජාතියකි. හේනට, කුඹුරට ගිය අය ගෙදර ආවේ කුඹුකෙ ළිඳට නැතිනම් ඕවිට ඇළට ගොස් ඇඟපත හෝදාගෙනය. අලුත් පලා ඉව්වේ නැත. එව්වා කිරි වේලෙන්නට තිබ්බේය. ගහල දලු වගේ එව්වා උයන්නට පෙර දම්බදිය ඇරියේය. ඉස්සො, කකුළුවො ඉව්වේ මුරුංගා දලු ටිකක් දාලාය. කොයික ඉව්වත් පොල්කිරි දැම්මේය. කොස්, දෙල්, අල බතල කෑවේ පොල් චුට්ටක් ගාගෙනය. මේ හැම වෙලාවකම හැදුවේ කෑම බීමේ වසක් විසක් ඇත්නම් විස මරාගන්නටය. දැන් මෙහෙව් ලිපියක් ලියන්නට සිදුව ඇත්තේ එහෙව් ජාතියකට කියවා ගන්නටය. ඒ නිසා තත්ත්වය බොහෝම නරකය.
මේ ප්රශ්නය කරළියට එන්නේ පසුගිය දවස්වලය. කොටින්ම මාසයක් නැත. නමුත් ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණ පරිදි මීට මාස කීපයකට පෙරත් යම් හාවක් හූවක් තිබ්බේය. මොකක්දෝ නොදන්නා හස්තයක බලපෑමෙන් හෝ වෙනයම් හේතුවකින් එදා ඒ කතාව යට ගියේය. මේ යළිත් වතාවක් වතුරේ තිබූ රබර් බෝලයක් වගේ උඩ එන්නේ ඒ කතාවයි. ඒ කතාවේ මාතෘකාව,
‘පාම් ඔයිල් ශරීරයට අහිතකරය’
කියනා එකය. මේ මාතෘකාවට තවත් අනු මාතෘකා රාශියක් තිබේ. නමුත් අවාසනාවකට ඒවා එක එක බලවේග හමුවේ මැකී ගොස්ය. දොස්තර පාදෙණියලා මේවා ගැන කතා කරන හඬ නෑසෙන්නේ අපේ කන්වල වරදක්ම විය යුතු යැයි අපිට හිතෙන්නේ ඒ මහත්තුරු රටේ කුදු මහත් කටයුතු හැම එකකදීම පෙරට ආ අය නිසාය. එහෙව් රට දැය ගැන හිතනා මහත්වරුන්ට මෙහෙව් විපතකදී කට වහගෙන ඉන්නට හිත හදාගන්නට බැරි බව අපිට විශ්වාසය. හැබැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්ය සමන්ත ආනන්ද මහතා මෙසේ කියා තිබුණේය.
සමන්ත ආනන්ද වෛද්යවරයා ප්රසිද්ධ මාධ්යයකට ලබාදී තිබූ අදහස මෙසේය.
‘පාම් ඔයිල් කියන්නෙ තනිකරම විසක්. පිළිකාකාරකයක්. නතර කරන්න බෑ. මිනිස්සු මැරිලා හරි කමක් නෑ ව්යාපාර රැකුණොත්. තෙල් ටික අරන් බැදලා කන ආහාර විතරක් නෙමෙයි පාම් ඔයිල් තියෙන්නෙ. ඔබ බලන්න ඔබ ගන්න බිස්කට් පැකට් එකේ බලන්න. ඔබ ගන්න කේක් එකේ බලන්න. ඔය මෝල්ට් කියලා විකුණන දේවල් ගැන බලන්න මොනවද තියෙන්නෙ කියලා.
පාම් ඔයිල් තියෙන්නෙ. අපිට මේ කවන්නෙ වස නෙමෙයිද? ඉතින් අපිට පිළිකා හැදිලා මැරෙන එක අහන්න දෙයක්යෑ. දවසට 78ක් වාර්තා වෙන්නෙ පරීක්ෂා කරපු පිළිකා රෝගීන්. හොයාගන්න බැරිව තව කීදාහක් ඇතිද සමාජය තුළ. මේක සමූල ඝාතනයක් නොවෙයිද කියන්නකො. වහ ටිකක් ආවට කමක් නෑ කියලා ප්රමිති ආයතනයෙ ලොක්කා කියනවා නම් මේ රටේ මිනිස්සුන්ට මොන සරණක්ද? දණ්ඩනීති සංග්රයට අනුව රටේ මිනිස්සුන්ට වස කවන්න බෑ කාටවත්.’
මේ කතාවට අනුව පිළිකා රෝගීන් හොයා ගන්නේ ඔබත් මමත් ඉන්නා සමාජයෙන්ය. තවත් රෝගීන් නොදැන ඉන්නවාය කියන්නේත් ඔබත් මමත් අතරය. මේ කියනා සමාජයේ ඔබත් මමත් ජීවත් වෙමු. ඒ නිසා හැකි ඉක්මණින් තීන්දුවක් ගත යුතුය. ජනාධිපති මාධ්ය අංශය විසින් 2021-04-05 ප.ව. 5.25ට නිකුත් කරන ලද මාධ්ය නිවේදනයක සඳහන්ව තිබුණේ,
‘වහාම ක්රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය (2021-04-05) දින නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම්දී ඇත. දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන් නතර කරන ලෙසද රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
මේ ලියමනට අදාළ නිවේදනය එදින හෙවත් 04/05 වැනිදාම නිකුත් වෙයි. ඒ ‘තාවකාලික අත්හිටුවීම’ ලෙස සඳහන්වය. කෙසේ නමුත් මේ කරුණු කාරණාවලට එක එක දේශපාලකයෝ අලගු තියනා මුත් රටේ නිල ස්ථාවරය ‘පාම් ඔයිල් නරකයි’ කියනා එකය.
පාම් ඔයිල් නරක වීමට ප්රධාන හේතුව එහි අන්තර්ගතයැයි කියනා ඇල්ෆාටොක්සින් නම් වූ ශරීරයට අතිශය අහිතර ද්රවයයයි. මෙය ඇල්ෆටොක්සින් සම්බන්ඳව අප දුටු ඉතාම පැහැදිලි සහ නිරවුල් පැහැදිලි කිරීමයි. එය මෙසේ උපුටා ගන්නේ, පාඨක සහ පාරිභෝගික ඔබගේ හිත සුව පිණිසය. අවබෝධ කරගැනීම හෝ අභියෝග කිරීම ඔබේ වැඩකි.
“ඇෆ්ලටොක්සින් සම්බන්ධව රසායන විද්යාඥයෙකු වූ ආචාර්ය පියල් ආරියනන්දගේ ලිපියක්…..”
යන ශීර්ෂය යටතේ මේ සටහන කර තිබේ. මේ පවතිනා පාම් ඔයිල් ප්රශ්නයට හේතුවද ඇත්තටම ඇල්ෆටොක්සින්ය. එහෙම නම් මේ ඇල්ෆටොක්සින් ගැන තේරෙන භාෂාවෙන් වූ සඳහනකි.
“ඇෆ්ලටොක්සින් කියන්නෙ පිළිකා කාරක රසායන ද්රව්යයක්. ලෝකයේ ඇෆ්ලටොක්සින් වර්ග 14ක් පමණ තිබුණත් මිනිසාට සහ සතුන්ට හානිදායක වන්නේ වර්ග 4ක් පමණයි. මෙය ප්රධාන වශයෙන්ම නිපදවන්නේAspergillus flavus සහ Aspergillus parasiticus නම් දිලීර (පුස් වර්ගය) මගින්.
ඇෆ්ලටොක්සින් කියන්නේ හයිඩ්රොකාබන වළලු පහක් එකිනෙක බැඳී සෑදුන රසායනිකයක්. Aflatoxin B1″ Aflatoxin B2″ Aflatoxin G1″ Aflatoxin G2″ (AFB1″ AFB2″ AFG1″ AFG2 කියලා වර්ග හතරක් තියෙනවා. මේවා නම් කරලා තියෙන්නෙ පාරජම්බුල කිරණ හමුවේ නිකුත් වන ෆ්ලොරසන්ට් ආලෝකයේ වර්ණය අනුව මේ රසායන ද්රව්ය හඳුනාගත හැකි ආකාරයට B1″B2 ks, a mdghs” G1″G2 කොළ පාටයි.Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර Aspergillus flavus නිෂ්පාදනය කරන්නේ ඊ වර්ගය පමණයි.
මේ දිලීර වර්ග හැදෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන මත. විශේෂයෙන්ම ඒවා තෙත්, උණුසුම් ස්ථානයක වැඩි කාලයක් ගබඩා කිරීම නිසා මෙම දිලීර වර්ධනය වෙනවා. රටකජු, මඤ්ඤොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩු වර්ගමත වර්ධනය වනවා. ඒ නිසා තමයි කියන්නේ මේ දේවල් හොඳින් අව්වේ වියලා ගබඩා කරන්න කියලා. මේ නිසා ඇෆ්ලටොක්සින් නිසා සිදුවන හානි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ඝර්ම කලාපීය රටවලයි.
මේ දිලීරවල හැදෙන ඇෆ්ලටොක්සින් ආහාර ද්රව්ය මත රැඳෙනවා.
ඇෆ්ලටොක්සින්වල භයානකකම තියෙන්නේ, පියවි ඇසට අවර්ණ, ගඳක් සුවඳක් රසක් තිත්තක් නැති රසායන ද්රව්යයක් නිසා. ආහාරයක ඇෆ්ලටොක්සින් තියෙනවද කියලා බලන්න සාමාන්ය කෙනෙකුට බැහැ. එයට TLC වර්ණාලේඛන ක්රමවේදයන් හෝ HPLC වැනි රසායනාගාරයක පමණක් දැකිය හැකි උපකරණ හරහා පමණයි. එපමණක් නොවෙයි එය තිබේ දැයි සහතික කර ගැනීමට සුපිරිසිදු ඇෆ්ලටොක්සින් සාම්පලද අවශ්ය වනවා. ඒවා සුවිශේෂී තත්ත්ව යටතේ භාවිත කළ යුතු වනවා. වැරදිලාවත් ශරීරයේ තැවරුණොත් සම හරහා ඇතුල් විය හැකියි.
ශරීරයට ඇතුළු වන ඇෆ්ලටොක්සින් වැඩි වශයෙන්ම හානි කරන්නේ අක්මාවට. අක්මාවේ ඇති සයිටක්රෝම් P 450 මගින් ඇෆ්ලටොක්සින් සක්රීය කරනවා. ඉන්පසු එය අපේ සෛලවල වූ DNA හා සම්බන්ධ වනවා. එහිදී DNA නිෂ්පාදනය අවහිර කිරීම, DNA ප්රතිවලිත වීමට බාධා කිරීම, පිළිකා කාරක ජාන සක්රීය කිරීම, සෛල විභේදනය විකෘති කිරීම යන කරුණු මගින් සාමාන්ය සෛල පිළිකා කාරක සරල බවට පත් කරනු ලබනවා. ඉන්පසු පිළිකා සෛල වේගයෙන් විභේදනය වෙමින් පිළිකාව ඇතිකරනු ලබනවා.
ඇෆ්ලටොක්සින් ශරීරගත වී ඇතිදැයි බැලීමට ඇති එකම මාර්ගය වන්නේ මුත්රා පරීක්ෂාවයි. ශරීරයේදී glutathione S-transferaseනම් ප්රතික්රියා දාමය හරහා සාමාන්යයෙන් ජලයේ අද්රාව්ය ඇෆ්ලටොක්සින්, ජලයේ දියවිය හැකි ව්යුහයක් බවට පත් කරනවා. එවිට ඇෆ්ලටොක්සින් මුත්රා සමග පිටවනවා. නමුත් මුත්රා පරීක්ෂාව ඇෆ්ලටොක්සින් ශරීරගත වී පැය 24 ක් ඇතුළත කළ යුතුයි. ඇෆ්ලටොක්සින් සිරුරේ පවතින්නේ උපරිම පැය 24ක් පමණයි. ඉන්පසු හෝ ඒ අතරතුර ශරීරය විසින් ඇෆ්ලටොක්සින් බැහැර කරනු ලබනවා.
මිනිසුන්ට ඇෆ්ලටොක්සින් විෂ වීම දෙආකාරයකට සිදු වනවා. සුළු වශයෙන් දීර්ඝ කාලයක් සිදුවන ශරීරගත වීම chronic toxicity සහ විශාල ප්රමාණයක් කෙටි කාලයක් ඇතුළත සිදුවන ශරීරගත වීම acute toxicity වශයෙන්.
ඇෆ්ලටොක්සින් නිසා සෑදෙන පිළිකා ප්රධාන වශයෙන්ම හැදෙන්නේ අක්මාව සහ වකුගඩු ආශ්රිතවයි. මිනිසුන්ට වඩාත්ම හානිදායක වන්නේ B1 වර්ගයයි. දීර්ඝකාලීන ශරීරගතවීම නිසා විශේෂයෙන්ම අක්මාවේ Hepatitis B වෛරසය මගින් හානියක සිදුවී ඇතිනම් පිළිකා සෑදීමේ ප්රවණතාවය වැඩියි. කුඩා දරුවන්ට දිගුකල් පවතින බඩේ අමාරු/බඩයාම, බෝවන රෝග මෙන්ම අංගවිකල/විකෘති දරුවන් ඉපදීම, මෙන්ම ප්රතිශක්තිකරණ පද්ධතිය අඩාල කිරීමද සිදු කරනවා. මේ තත්ත්වයන් ඇෆ්ලටොක්සිකෝසිස් aflatoxicosisයනුවෙන් හඳුන්වනවා.
එකවර විශාල ප්රමාණයක් ශරිරගත වීම අක්මාවට හානි පැමිණීම හරහා මරණය ළඟා කරදීමට සමත් වනවා. ශරීරය කහ පැහැ වීම (පිත්තාශයේ අක්රීයතාවය නිසා) අලස බව, වමනය සහ කරකැවිල්ල, මරණය යන දේවලින් ඕනෑම දෙයක් හෝ කිහිපයක් මේ නිසා සිදුවන්න පුළුවනි. දරුවන්ට වඩා වැඩුනු පුද්ගලයින් මේ රෝගයන්ට ප්රතිරෝධයක් දක්වනවා. නමුත්, අවම වශයෙන් ආහාර කිලෝග්රෑමයකට ඇෆ්ලටොක්සින් මිලිග්රෑම් 1ක් (1 ppm) ඇති ආහාර ශරීරගතවීම ඇෆ්ලටොක්සිකෝසිස් තත්ත්වයන් ඇති කිරීමට සමත්, සති 1-3ක් පුරාදිනකට AFB1 20-120 µg/kg ප්රමාණයක් ශරීරගත වීම කෙනෙකුට මරණය ළඟාකර දීමට ප්රමාණවත්.
සතුන්ටද මෙය එක සේ බලපානවා. කුකුළන්ට අක්මාවේ ආබාධ, බිත්තර ඵලදාව අඩුවීම, වර්ධනය අඩුවීම, බිත්තර කටුවේ සංකූලතා ඇතිවීම, ආදිය සිදු විය හැකියි. ඌරන්ට මේ තත්ත්වය වඩාත් දරුණුයි. එහිදී ඌරන්ගේ වර්ධනයේ අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් ලංකාවේ මේ දෙවර්ගය ගැනම එතරම් අවධානයක් නැති නිසා, සහ මේ සතුන්ට පුස් බැඳුණු ආහාර ලබා දීමේ ප්රවණතාවය වැඩි නිසා, ඇෆ්ලටොක්සින් නිසා විවිධ සංකූලතා ඇති වූ කුකුළු මස් සහ ඌරු මස් අනුභවයෙන් ආහාර විෂ වීම සිදුවීමට ඉඩ තිබෙනවා.
සාමාන්ය මිනිසුන්ට තමන් ගන්නා ආහාරවල ඇෆ්ලටොක්සින් ඇතිදැයි කියන්න බැහැ. එය කළ හැක්කේ රසායනික පරීක්ෂාවලින්ම පමණයි. නමුත් තමන් ගන්නා ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කරගැනීම මගින් මේ තත්ත්වයන් වළක්වා ගන්න පුළුවනි.
– ආහාරමත පුස් බැඳීම වළක්වා ගන්න. මේ සඳහා ධාන්ය වර්ග, කුළුබඩු හොඳින් තද අව්වේ වියලා ගැනීම කළ හැකියි.
– ධාන්ය වර්ග, කුළුබඩු තෙත් ස්ථානවල ගබඩා කරන්න එපා.
– ආහාරවල ඇති පුස් පිළිබඳ පරීක්ෂාවෙන් පසුවන්න. අමු ආහාර ගැනීමේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න. එසේ පුස් බැඳුන ආහාර පාවිච්චියට ගන්න හෝ සතුන්ට ලබා දෙන්න එපා.
– විශ්වාසදායී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදනය වන දේ පමණක් මිලට ගන්න. ලේබල් නොමැති ආහාර විශවීමක් සිදු වුවහොත් එය ලබා දුන්නේ කවුද යන්න හඳුනාගත නොහැකියි.
– කල් ඉකුත් වූ ආහාර භාවිතයෙන් වළකින්න.”
මේ සටහනට අදාළව සඳහන්ව ඇත්තේ ආචාර්ය පියල් ආරියනන්ද නමැති රසායන විද්යාඥයෙක්ගේ නමකි. මේ සඳහන අග සටහන් කර ඇති වෙනත් කරුණු කිසිවක් ගැන අපට තර්කයක් නැත. නමුත් මෙහි වූ,
“විශ්වාසදායී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදනය වන දේ පමණක් මිලට ගන්න. ලේබල් නොමැති ආහාර විශවීමක් සිදු වුවහොත් එය ලබාදුන්නේ කවුද යන්න හඳුනාගත නොහැකියි.”
යන කොටස හා එකඟ විය හැක්කේ අර්ධ වශයෙන් ය. එහි වූ,
“ලේබල් නොමැති ආහාර විශවීමක් සිදු වුවහොත් එය ලබා දුන්නේ කවුද යන්න හඳුනාගත නොහැකියි.”
යන්න ගැන අපේ අමනාපයක් නැත. හැබෑවටම ඒ කතාව කොයි තරම් ප්රායෝගිකදැයි කියනා එක කෙසේ වෙතත්, කතාවේ ඇත්තක් තිබේ. නමුත්,
“විශ්වාසදායී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදනය වන දේ පමණක් මිලට ගන්න.” කියනා එක ගැන අපි එකඟ නැත.
නෝනාවරුණි, මහත්වරුණි අපට බරපතළ ලෙස වැරදී ඇත්තේත් ඔන්න ඔය විශ්වාසවන්ත කියනා කොටස නිසාය. මේ පාම් ඔයිල් අර්බුදයත් සමග විශ්වාස කළ බොහෝ නාමයන් ගැන පුදුමත් හිතෙනා කතන්දර එළියට එනු ඇත. පාම් ඔයිල් ඇත්තටම නරකයි නම් ඒ හැම නිෂ්පානයක්ම දැන් ප්රශ්නයකි. මේ අති විශේෂ හෙළිදරව්ව කරන්නේද ඒ වෙනුවෙන්මය. මෙතෙක් කල්, අපි වසය කීවේ බව භෝගවලට ඉහිනා තෙල්වලටය. නැත්නම් කාබයිට් වගේ කෘතිම දේවලටය. නමුත් දැන් ඒ “වස” ලේබලය ඔබ “රස”ය සිතූ බොහෝ දේ මත ඇලවී අවසන්ය.
වෙන දා ඔබ වෙළඳ නාමවල විශ්වාසය මත අවිශ්වාස කළා නම් ඒ අවිශ්වාස කළේ කඩේ මුදලාලි ගැන පමණි.
“මේකා මේක කවදා ගෙනල්ලා වි
කුණනවද දන්නෙ නෑ. කල් ඉකුත් වෙලා නම් එහෙම”
කියා සිතූ ඔබ දවටනයේ කොහේ හෝ හෙව්වා නම් ඒ කල් ඉකුත් වීමේ දිනය ගැනය. නැත්නම් මිලය. වෙන මොකොවත් දවටනයේ බලනා පුරුද්දක් අපේ නැත. නමුත් මෙතැන් සිට අලුත් පාඩමක් උගත යුතුය. ඒ ඔබ ගන්නා “විශ්වසනීය වෙළඳ නාමය” සහිත නිෂ්පාදනයේ අඩංඟු ද්රව්ය මොනවාදැයි බලනා එකය. බොහෝ විට එහි කොතැනක හෝ ඇහැට නොපෙනෙනා කුරුමිණි අකුරෙන්,
“පාම් ඔයිල්”
යැයි සඳහන් වේ නම්, එය මේ කියනා කරුණු අනුව ශරීරයට අහිතකර ද්රව්යවලින් සමන්විතය. ඒනිසාම වහාම ක්රියාත්මක වෙන පරිදි,
“පාම් ඔයිල් සහිත”
නිෂ්පාදිතයන් ප්රතික්ෂේප කළ යුතුය. මේ වන විට අප විසින් සොයා ගත් කරුණු අනුව මෝල්ට් වර්ග, මාගරින්, බිස්කට්, අයිස්ක්රීම්, කේක් නිෂ්පාදන අමුද්රව්ය වැනි ප්රකට වෙළඳ නාම සහිත නිෂ්පාදනවල පාම් ඔයිල් හෝ පාම් ඔයිල් ආශ්රිත නිෂ්පාදන අන්තර්ගතය.
ඒ අනුව ගත් කල “පාම් ඔයිල්” දැන් අපි වට කර අවසන්ය. පාම් ඔයිල් මාෆියාව කොයි තරම්ම දරුණු දැයි කියනා එකට සමහර විට හෙට ඔබට අපෙන්ම උදාහරණ ලැබෙන්නට බැරි නැත. පාම් ඔයිල් වලට හෝ ඊට අදාළ වෙළෙඳ ඒකාධීකාරයට එරෙහිව අදහස් ඉදිරිපත් කරනා සියලුම ආකාරයේ බලවේගවලට ඒ ඒ අයට ගැලපෙනා සේ බරපතළ ප්රහාර එල්ල කිරීමට තරම්ම ඔවුන් ප්රබලය. පාම් ඔයිල් අඩංගු නිශ්පාදන ගැන සඳහන් වූ වෙබ් අඩවිවලට හදිසියේම පෙනී නොපෙනී යන තරම්ම දරුණු ලෙස මේ මාෆියාව හමා යමින් තිබේ. ලංකාවේ බොහෝ ප්රකට මාධ්ය ආයතන පවා මේ වෙලාවෙ කට පියාගෙන ඉන්නේ ඇයි දැයි ඔබට පැහැදිලි වෙනු ඇත. නමුත් අපි ඉතාම ඉක්මනින් “පාම් ඔයිල් නැති ආහාර ද්රව්ය” හොයාගෙන යන්නට සූදානම්ය. එතෙක් ඔබ මිලදී ගන්නා බඩු මල්ලද පාම් ඔයිල් නැති නිෂ්පාදනවලින් පුරවා ගන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
ඒ අතර,
“අපි සම්පූර්ණයෙන් පාම් ඔයිල් නැති ආහාර නිෂ්පාදන ආයතනයක්”
යැයි කිවහැකි ආයතන ඇත්නම් ඔබට කිව හැක. එවැනි හැකියාවක් සහිත ආයතනයන් කීයක් තිබේදැයි අප ටක්කෙටම දන්නේ නැත. නමුත් එවැනි ආයතන ඇත්නම් අපි ඔබට ආරාධනා කරමු.
“අපි පාම් ඔයිල් මාෆියාවෙන් නිදහස්”
“යැයි ඔබට කිව හැකිද? ඔබේ ආයතනයට කිව හැකිද?
එසේ නම් ඔබේ නිශ්පාදනයන් අපිට,
“වස විස නැතිව ගෙදර යන”
බඩු මල්ලට එක්ලර ගත හැක. නීරෝගී මතු පරපුරක් වෙනුව් අපි පෙරමං තනන්න සූදානම්, ඔබ.?
ජීවන පහන් තිලිණ