රියැදුරු බසයේ වේගය අඩු නොකරම මාරු වෙන්න ගියා..

කොළඹ යන බසයට මම මීදුම්පිටියෙන් ගොඩ වුණා. බසය හැමදාම යන වේගයෙන් ගියා. 13 කණුව පාරට වැටුණ ගල අසලින් ඉදිරියෙන් ලොරියක් ආවා. බසයේ වේගය අඩු නොකරම එතැනින් මාරුවෙන්න ගියා. ඒත් එක්කම බසය පාරේ ගැට්ට කඩා ගෙන ප්‍රපාතයට පෙරළුණා යැයි මීදුම්පිටිය පදිංචි කේ. ඩේවිඩ් මහතා පැවසීය. මෑත කාලයේ වැඩිම පිරිසක් මියගිය සහ වැඩිම පිරිසක් තුවාල ලැබූ රිය අනතුර බස් රථයක් ප්‍රපාතයකට යෑමෙන් පෙරේදා (20) උදෑසන පස්සර පොලිස් වසමේ 13 කණුව අසලදී පුද්ගලයන් 14ක් මියගොස් පුද්ගලයන් 34 දෙනකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන්ගෙන් පිරිමි පුද්ගලයන් 20ක් සහ කාන්තාවන් 13ක් වේ. තුවාල ලැබූවන් අතර දරුවන් 05 දෙනකු ද වේ. මෙම සිද්ධියෙන් පසුව උදව් කිරීමට පැමිණි පුද්ගලයකු ද ගලක් පෙරළී තුවාල ලබා තිබේ.

ද්විත්ව වංගුවක් ඇති මෙම ස්ථානයේ සිදුවූ රිය අනතුරෙන් බස් රථයේ රියැදුරු අසුනේ පුද්ගලයකු සිරවී තිබූ අතර පසුව ඔහු මියගොස් තිබුණි. නමුත් ඔහු රිය­ැදුරු නොවන බවට අනාවරණය වී ඇත. රියදුරු අසාධ්‍ය තත්ත්වයෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු 53 හැවිරිදි ලුණුගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

තුවාලකරුවෝ පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. මෙම බස් රථය ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.
සී.සී.ටී.වී දර්ශන අනුව මෙම බස් රථය කොළඹ දිශාවට ගමන් කර ඇති අතර ප්‍රතිවිරුද්ධ දිශාවට ලොරියක් ගමන් කර ඇති අතර එක්වරම මෙම බස් රථය පල්ලමට ඇදී යන ආකාරය නිරීක්ෂණය වන බව පොලිසිය පවසයි.

එම අසල ඇති භෞතික සහ පරිවේශණීය සාක්ෂි පරික්ෂා කිරීමේදී මෙම රිය­ැදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් නමුත් මෙම බස් රථය සම්බන්ධව තාක්ෂණික පරික්ෂාවක් මෝටර් රථ සම්බන්ධ පරික්ෂකවරුන් විසින් සිදුකිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. මෙම බස් රථයට අනතුරෙන් දැඩි අලාභහානි සිදුවී ඇති හෙයින් ඒ සම්බන්ධ තාක්ෂණික පරික්ෂණයක් සිදු කිරීමට කාලයක් යන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

පසුගිය අවුරුදු එක හාමාරක කාලය තුළ මෙවැනි අනතුරු 30කට ආසන්න ප්‍රමාණයක් කඳුකර පළාත් තුළ සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා විමර්ශන සිදු කෙරෙන අතර පස්සර පොලිසිය ද මේ සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවයි. මෙම බස්රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයේ ගැටී නොමැති බව සී.සී.ටී.වී දර්ශනවල සටහන් වුවද අදාළ ලොරි රථය සහ එහි රියදුරු ද පරික්ෂණ කටයුතු සඳහා අවශ්‍ය හෙයින් ඔහු ද අත්අඩංගුවට ගෙන ඇත. පස්සර පෞද්ගලික බස් රථ අනතුර සිදුවන අවස්ථාවේ දී එය දැක පළා ගොස් සැගව සිටි බව කියන ටිපර් රථ රියැදුරා සහ අනතුරට ලක්වූ බසය පැදවූ රියැදුරා අත්අඩංගුවට ගෙන බදුල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා ලබන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය.

රක්ෂණ ශ්‍රියන්ත, ප්‍රසන්න පත්මසිරි සහ සී. ග‍මගේ

 
 
 
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button