පිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 වර්ගයේ ගුවන් යානයක් දකුණු පිලිපීනයේදී කඩා වැටීම නිසා පුද්ගලයන් 50ක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
මිය ගිය පිරිස අතර සිවිල් පුද්ගලයන් තිදෙනකු ද සිටි බව වාර්තා වේ. එරට හමුදාවට අයත් ගුවන් යානයක් මෙවැනි ඛේදවාචකයකට ලක් වී ඇත්තේ දශක ගණනාවකට පසුය.
අනතුර සිදුවන විට එම ගුවන් යානයේ සෙබළුන් 96 දෙනකු ගමන් කර ඇති බවත්, ධාවන පථය මඟ හැරී යෑම හේතුවෙන් මේ අනතුර සිදු වී ඇති බවත් එරට පුවත්පත් වාර්තා කළේය.
අනතුර සිදු වූ අවස්ථාවේදීම හමුදා පිරිස් සහ සිවිල් වැසියන් එම ස්ථානයට ගොස් ඇති අතර, තුවාලකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබේ. අනතුර සිදු වීමට මොහොතකට පෙර එහි ගමන් ගත් සෙබළුන් ගුවන් යානයෙන් බිමට පනිනු දුටු බව ප්රදේශවාසිහු පවසති.
තුවාල ලබා සිටි තවත් 49 දෙනකු රෝහල්ගත කර ඇති අතර, තවත් පුද්ගලයන් කිහිපදෙනකු සොයා මෙහෙයුම් ක්රියාත්මක කර තිබේ.
ගුවන් යානයේ සිටි බොහෝ සෙබළුන් හමුදා පුහුණුව අවසන් කර ආපසු යමින් සිටි නවක සෙබළුන් පිරිසක් බව ද වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
මීට පෙර අවසන් වරට පිලිපීනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇත්තේ 1993 වසරේදීය. පිලිපීන ගුවන් හමුදාවට අයත් එම ගුවන් යානය ද සී-130 වර්ගයේ ගුවන් යානයක් වන අතර, එම අනතුරින් පුද්ගලයන් 30 දෙනකුට ජීවිත අහිමි විය.