සියලු ලෝක වාසීන්ට නිරෝගි සුවය අත්වේවා..

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනය සිහිපත් කෙරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදය. මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ සැදැහැ සිත් සතන් තුළින් නික්මෙන, බුද්ධාලම්භන ප්රීතියෙන් යුත් දැහැමි සිතිවිලිවල ආනුභාවයෙන් රටෙන් ලොවෙන් කොරෝනා මාරක වසංගතය තුරන්ව නිදුක් නිරෝගී බලය උදාවේවා යන්න  පොසොන් ප්රාර්ථනාව වේ.
 
දුක, දුකට හේතුව, දුකින් මිදීම හා දුකින් මිදීමේ මාර්ගය බුදු දහමේ සාර පදනම වේ. සීමිත සම්පත්වලින් අසීමිත මිනිස් ආශාවන් සපුරා ගැනීමේ නොනවතින, අඛණ්ඩ හා අනවරත ප්රයත්නයක යෙදී හති වැටී සිටින මුළු මහත් මානව සමාජයටම මෙතෙක් අවිඳු අඳුරෙන් වැසී තිබූ මායාවේ කඩතිර ඉරා යථාර්ථය යනු කුමක්දැයි පසක් කර දීමට සියවසකට පමණ පසුව පැමිණි කොරෝනා මාරක වසංගතය හේතු වී තිබේ.
 
සැප සොයා වෙහෙසුණද එබන්දක් ලොව නැතැයි ද ඇත්තේ දුකම පමණකැයි යන්න වටහා ගැනීමට මානව සමාජයට තවත් අත්දැකීම් අවැසි නැත. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අද වැනි දිනෙක අප ජාතියට දායාද කළේ එම පරම සත්ය රැගත් උතුම් බුදු දහමය. කොරෝනා මාරක වසංගතය ඉදිරිපිට උකටලී නොවී අවබෝධයෙන් යුතුව එයට මුහුණු දීමේ පන්නරයත් ප්රඥාවත් අප ජාතිය සතුව පවතින්නේ එම නිර්මල දහම අපගේ ජීවන විලාසයත් විලාසිතාවත් බවට පත්කර ඇති හෙයිනි.
 
මෙයට දෙතුන් වසරකට ඉහතදී අප සමාජයේ ප්රශ්න බවට පත්ව තිබුණේ ජන වාර්ගික ගැටුම්ය. ආගමික ගැටුම්ය. එහෙයින් සහජීවනයේ වැදගත්මක දැඩිව අවධාරණය කිරීමට සිදුවිය. සමගියෙන් ජීවත්විය යුතු බවට තරයේ උපදෙස් දෙනු ලැබීය. එදා ජාතිකත්ව වශයෙන් දෙපිල බෙදී ඇනකොටා ගත් පිරිස්වලට මෙන්ම ආගමික උමතුවෙන් අනෙකාගේ දිවි තොර කිරීමට උත්සහ කළ පිරිස්වලට ද අද එක් පොදු සාධකයකට එරෙහිව කඳවුරු බැඳ සටන් කිරීමට සිදුවී තිබේ. කොරෝනාව අපට ඉගැන්වූ යස පාඩම වන්නේ අප මෙතෙක් ප්රශ්න ලෙස හඳුනාගත් බොහෝ දේ ප්රශ්න නොවන බවය. මරාගෙන මැරෙන්නට පිරිස් යොමු වූයේ එම ඒකාන්ත සත්ය අප තේරුම් නොගත් නිසාය.
 
කරුණු කාරණා එපරිදි නම් කොරෝනාව තුරන්ව ගිය ලෝකය සැම අතින්ම ශිෂ්ට වූත් අලංකාර වූත් සමාජයක් වනු ඇත. ගැටුම් විරහිත එකිනෙකා අවුළුවාගත් මහා මානව ප්රේමයෙන් බැඳුණු සමාජයක් වනු ඇත. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ උතුම් බුදු දහමෙහි සඳහන් වන්නේ, මිනිස් ආත්ම භාවයක් ලැබීම ඉතා දුර්ලභ බවය. එහෙත් අප මෙතෙක් ජීවත් වූයේ ඒ දුලබ මිනිස් ආත්ම භාවයට කැළලක් වන ආකාරයටය. ගහ මරා ගත්තේ එහෙයිනි. එම නිසාම කොරෝනා මාරක වසංගතය තුරන් වූ ලෝකයේ දුර්ලභ මනුෂ්ය ආත්මභාවයට සාධාරණය ඉටු කෙරෙන දැහැමි දිවි පෙවතක් වෙත මිනිසා නිරායාසයෙන්ම යොමුවනු නියතය. අප ප්රඥාව අවදි කරගත යුතු වන්නේ ඒ වෙනුවෙනි.
 
මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ විට රටේ රජතුමා වූ දේවානම්පියතිස්ස මුණගැසුණේ මිහින්තලාවේදීය. එදින රජු විනෝදය පිණිස මුවන් දඩයමේ ගොස් සිටියහ. විනෝදයට සතුන් මරණ සංස්කෘතියක් සහිත සමාජයක අඳුරු බව අපට අවබෝධ කර ගැනීමට අසීරු නැත. එබඳු සමාජයක් ලොව අග්රගණ්ය හා අභිමානවත් ඉතිහාසයක් සහිත සමාජයක් බවට පරිවර්තනය වූයේ උතුම් බුදු දහමේ ආනුභාවයෙනි.
 
මිස්සක පව්ව මතදී මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහ රජුගෙන් අඹ පැනය, ඥ‌ාති පැනය විමසූහ. එහි අරමුණ වූයේ රජතුමාගේ බුද්ධිය විමසා බැලීමය. සයුරු පතුළ බඳු මහා ගැඹුරකින් යුතු බුදු දහම අවබෝධ කරගත හැකිවන්නේ බුද්ධිය සහිත මිනිසාට පමණෙකි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට දායාද කළ සදාතනික හා සදාකාලික දහමට අනුව අද දවස විග්රහ කර ඇති තතු ඇති ආකාරයෙන් වටහා ගැනීමට නම් බුද්ධිය ඇවැසිය. එහෙයින් මිනිසාගේ අද දවසේ වගකීම විය යුත්තේ බුද්ධිය කුළුගන්වා ගැනීමය. නොඑසේ නම් සිදු වන්නේ කුමක්දැයි නිවැරැදිව තේරුම් නොගෙන මහා පඹගාලක පැටලීමට සිදුවීම වැළැක්විය නොහැක.
 
බෞද්ධයාගේ පරම පූජනීය දිනයක් වන පොසොන් පුර පසළොස්වක පොහොය සැමරීමට අද සිදුවී තිබෙන්නේ නිවෙස්වලම සිටිමින්ය. එය කම්පාවට කරුණක් කර නොගත යුතුය. අද දවසේ යථාර්ථය එයය. එම යථාර්ථය පිළිගැනීම අප සතු බුද්ධියට යටත්ය.
.

Back to top button