ඉන්ධන අවසන්, අද උදේ තෙල් නැත්නම් රෑට අඳුරේ ඉන්න – ලං.වි.ම.

කැලණිතිස්ස හා සපුගස්කන්ද විදුලි බලාගාර සඳහා අද (18දා) පෙරවරුව වනවිට අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත් දවසකට පැය එකහමාරක් අනිවාර්යයෙන්ම විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය අනතුරු ඇඟවීය.

කැලණිතිස්ස හා සපුගස්කන්ද විදුලි බලාගාරවලින් දැනට මෙගාවොට් 450ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට ලබාදෙන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට භාවිත කෙරෙන ඉන්ධන අද සවස් වනවිට අවසන් වන බැවින් මෙම තත්ත්වය උද්ගත වන්නේ යැයි එම සංගමයේ ලේකම් ධම්මික විමලරත්න කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවැසීය.

ඒ අනුව දැනට පවතින ඉන්ධනවලින් මෙගාවොට් 300ක් නිෂ්පාදනය කෙරෙන කැලණිතිස්ස බලාගාරය අද පස්වරු 5.00 දක්වාත් මෙගාවොට් 150ක් නිෂ්පාදනය කෙරෙන සපුගස්කන්ද බලාගාරය අද මධ්‍යහ්නය දක්වාත් පමණක් විදුලිය ජනනය කරනු ඇතැයි විමලරත්න අනතුරු ඇඟවීය.

මෙම විදුලි කප්පාදුව පස්වරු 4.00 හා 10.00 අතර කාලයේදී සිදුවනු ඇතැයි කී හෙතෙම විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවෙන් මේ වනතෙක් කිසිදු දැනුම්දීමක් කර නැතැයිද කීය.

යම් හෙයකින් ඛනිජ තෙල් සංස්ථාවෙන් අද පස්වරුවේ ඉන්ධන ලබාදීමට තීරණය කළත් ඒවා ටැංකිවලට පිරවීමට පැය අටක පමණ කාලය ගත වන බැවින් සැලසුම් කළ විදුලි කප්පාදුව නතර කරගැනීමද පහසු නොවනු ඇතැයි විමලරත්න මහතා පැවැසීය.

උතුරු ජනනි හා බාජ් යන බලාගාරද මේ තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැක්කේ ලබන 22 වැනිදා තෙක් පමණක් යැයිද ඒ මහතා පැවැසීය.

ගල් අඟුරු බලාගාර සඳහා වාර්ෂිකව ගල් අඟුරු නැව් 38ක් අවශ්‍ය නමුත් මේ වනවිට මෙරටට ආනයනය කර ඇත්තේ නැව් 22ක් පමණක් යැයිද එම ගල් අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් යැයිද විමලරත්න මහතා කීවේය.

පවතින කාලගුණ තත්ත්වය මත ජල විදුලිය නිෂ්පාදනයද ක්‍රමානුකූලව පහළ වැටෙනු ඇතැයිද රන්ටැඹේ හා රන්දෙණිගල ජලාශවලින් ජලවිදුලියට ලැබෙන ජලය අද (18දා) සිටම අඩුවනු ඇතැයිද ඒ මහතා පැවැසීය.

අප්‍රේල් හා මැයි මාස දක්වා ප්‍රමාණවත් පරිදි වැස්ස නොලැබෙනු ඇති බවට දැනටමත් විද්‍යාඥයන් පුරෝකථනය කර ඇතැයිද ඒ අනුව සියයට 22ක පංගුවක් නියෝජනය කරන ජල විදුලිය ඉදිරියේදී සියයට 5 දක්වා අඩුවිය හැකි යැයිද විමලරත්න මහතා කීය.

වඩාත් සරලව කිවහොත් මෙම පවතින ජල ධාරිතාවෙන් විදුලිය උත්පාදනය කළහැක්කේ තවත් මාස දෙකහමාරකට පමණ යැයිද විමලරත්න මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමානි පැවැසුවේ ඩීසල් විදුලි බලාගාර සඳහා දැනට ලැබී ඇති ඉන්ධන අද (18දා)ට ප්‍රමාණවත් වන අතර ඉදිරි දිනවලට අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබීමට නියමිත බවයි.

ඒ අනුව හෙට (19දා) තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 3,000ක් ලංවිමට ලැබීමට නියමිත යැයිද දින දෙකකට වරක් මෙසේ ටොන් 3,000 බැගින් ලංවිමට තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලැබෙනු ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවැසුවේ කැලණිතිස්ස හා සපුගස්කන්ද බලාගාරවල මෙහෙයුම් කටයුතු සීමා කිරීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් විදුලි කැපීම යනු අවසාන පියවර යැයි කී ඒ මහත්මිය ඉක්මනින් වැස්ස ලැබේ යැයි අපේක්ෂා කරන්නේ යැයිද කීවාය.

එවිට ජල විදුලිය මඟින් විදුලි බල අවශ්‍යතාව කළමනාකරණය කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන්නේ යැයිද ලේකම්වරිය කීවාය.

තවමත් ඉන්ධන ලබාගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද විදුලි කප්පාදුවක් සිදුවන්නේ ඒ සාකච්ඡා සාර්ථක නොවුණොත් අන්තිම විකල්පය හැටියට යැයිද අමාත්‍යාංශ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ ගැන කළ විමසීමේදී ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර විදුලි කප්පාදුව අඹතලේ ජල පොම්පාගාරයට බලපෑවොත් පමණක් ජල සම්පාදනය බිඳවැටෙනු ඇතැයි කීවේය.

එසේ නොවුණහොත් පාරිභෝගිකයන්ට බලනොපාන අයුරින් ජල සම්පාදනය කළමනාකරණය කරගත හැකි යැයිද ඇමැති නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේය

Back to top button