ගම්පහ නගරයේ උපකාරක පන්ති පවත්වන ප්‍රසිද්ධ ආයතනයක කාන්තා වැසිකිළියේ කැමරාවක් සවි කර තිබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසනවා.
කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගන්නා තෙක් ඔහුගේ අනන්‍යතාවය හෙළි කළ නො හැකි බව පරීක්ෂණ මෙහෙය වන නිලධාරියෙකු සදහන් කළා.
ගම්පහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ නගරාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බවයි.
ඒ අනුව නගරාධිපතිවරයාට පවතින බලතල අනුව විමර්ශන අවසන් වනතෙක් අදාළ ආයතනයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ.
එමෙන්ම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු මේ වනවිට මෙහෙය වනු ලබන්නේ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය මගින්.
උසස් පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති පවත්වන එම ආයතනයේ ගැහැණු ළමයින්ගේ වැසිකිලියේ සවිකර තිබියදී නවීන තාක්ෂණයෙන් යුත් කැමරාවක් හමුවුනේ පසුගිය සතියේදීයි.
ඒ සිසුවියකගේ මවක විසින් පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුවයි.
එහි දර්ශන ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් නැරඹිය හැකි වන පරිදි නව තාක්ෂණික ක්රමෝපායන් භාවිතා කරමින් අදාළ කැමරාව සවි කර තිබූ බවට යි තොරතුරු වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 20ක් පමණ ලබා ගෙන තිබෙනවා.
අදාළ ආයතනයේ හිමිකරුගෙන්, ගුරුවරුන්ගෙන් සහ උපකාරක පන්තිවලට සහභාගී වන සිසුන්ගෙන් එම ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.