සුද්දන්ට වෙඩින් ගන්න සිංහරාජය වෙන් කරයි..

සිංහරාජ වනාන්තරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිත ස්ථාන තෝරාගෙන ඒවායේ විවාහ මංගල උත්සව සංවිධානය කිරීමට අවස්ථාව සලසාදීම මගින් විදේශිකයන් වැඩිපුර ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

මෙරට ආරක්ෂිත මංගල ගමනාන්තයක් බවට විදේශිකයන් තුළ විශ්වාසය තහවුරු වීමත් සමඟ විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය වඩාත් වැඩිපුර මෙරටට ලබාගත හැකි වෙතැයි සංචාරක සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි.

එමගින් මංගල උත්සවයේදී වෙනස් අත්දැකීමක් අපේක්ෂා කරන විදේශිකයන්ට මෙරටට පැමිණ සිය විවාහ උත්සව පැවැත්වීමේ අවස්ථාව උදාකර ගැනීමට අවකාශ සැලසේ.

එමෙන්ම මෙරට විවාහ මංගල කේෂ්ත්‍රයේ දියුණුවට ද මෙය මනා පිටුවහලක් වනු ඇතැයිද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එසේම කොවිඩ් 19 වසංගතයෙන් බිඳවැටුණු විවාහ මංගල ක්ෂේත්‍රයේ විලාසිතා නිර්මාණය සහ අනෙකුත් සහායක අංශද නගාසිටුවීම මෙමගින් අපේක්ෂා කරයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වෙනමම අංශයක් ස්ථාපනය කිරීමටද නියමිතය.

එම අංශය මගින් මෙරට උත්සව කළමනාකරණ සමාගම්, මංගල සැලසුම්කරුවන්, ඡායාරූප ශිල්පීන් සහ විලාසිතා නිර්මාණකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්ව එකම වේදිකාවක් මතට ගෙන ඒම සිදුවනු ඇත.

දැනටමත් යුරෝපයේ සහ ආසියාවේ රටවල පිරිස් අතරේ මංගල උත්සව සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකාව තරමක ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති අතර එම තත්ත්වය වඩා වර්ධනය කිරීම මෙම නව වැඩසටහනින් අපේක්ෂා කරයි.

Back to top button