‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සන්නිවේදනවලට අදාළවූ කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරියේ වී ටී එම් එස් දත්ත පද්ධතියේ දත්ත මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ (13) දැනුම් දුන්නා.
මෙම දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් අයකු හිතාමතාම එම වරද සිදුකර ඇති බවට එහිදී කරුණු අනාවරණය වුවහොත් තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කිරීමට පසු බට නොවන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළා.
කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරියේ වී ටී එම් එස් දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් මේ වන විට එහි හාබර් මාස්ටර්වරයා ඇතුලු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
අදාළ වී ටී එම් එස් දත්ත පද්ධතියේ පටිගත වී ඇති දත්ත අතර, ඉකුත් 2021 මැයි මස 01 වැනිදා සිට ජුනි මස 10 වැනිදා දක්වා අතර කාලයට අදාළ දත්තයන් මැකී ගොස් ඇති බවට කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරිය වාර්තාවක් මගින් තමන්ට දැනුම් දී තිබුණු බවත් එම සිද්ධිය සිදුවූයේ කෙසේද? ඊට වගකිවයුත්තෝ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගොස් ඇති බවට කොළඹ වරාය සදහන් කරන බැවින් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා වෙත අදාළ යන්ත්‍රය ඉදිරිපත් කර එකී දත්ත මැකී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් ඉකුත් දා රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇති බවද මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.