ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිගය හේතුවෙන් පළමු ශ්‍රී ලංකා සරණාගත කණ්ඩායම තමිල්නාඩු වෙරළ තිරයට පැමිණ ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලාංකිකයන් 16 දෙනකු ඊයේ කණ්ඩායම් දෙකකින් තමිල්නාඩුවට පැමිණි බවත් ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවේ යාපනය සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පළමු කණ්ඩායම ලෙස ළදරුවන් සහ ළමුන් තුන්දෙනකු ද ඇතුළත්ව සරණාගතයන් 6 දෙනකු රාමේශ්වරම් වෙරළේ දූපතක් අසල අතරමං වී සිටියදී ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම පළමු කණ්ඩායමේ සරණාගතයින් පොලිසියට පවසා ඇත්තේ සති ගණනක් ආහාර සෙවීමට දුක් විඳීම හේතුවෙන් ඉන්දියානු මුහුදු සීමාවේ අරිචල් මුනායි හි හතරවෙනි දූපතට තමන් ගෙනත් දැමීම සඳහා ධීවර බෝට්ටුවකට රුපියල් 50,000 ක මුදලක් ගෙවූ බවයි
දෙවැනි කණඩායම ලෙස තමිල්නාඩු වෙරළ තීරයට සරණාගතයින් 10 දෙනකු පැමිණ ඇති අතර ඉන් 8 දෙනකු ගේ අනන්‍යතාවය තහවුරු කර ඇති අතර එම සරණාගතයින් අතර කාන්තාවන් 3 දෙනකු සහ ළමුන් පස් දෙනකු සිටින බවට ඉන්දීය බලධාරීන් තහවුරු කර ඇතැයි බව ඉන්දීය මාධ්‍ය පැවසීය.
ඉන්දියාවේ ප්‍රසිද්ධ පුවත් සේවයක් වූ ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත අදහස් දක්වමින් තමිල්නාඩු පොලිසිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ විරැකියාව සහ ආහාර හිගය හේතුවෙන් සරණාගතයින් මෙසේ ඉන්දියාවට පැමිණෙන බවයි. තමිල්නාඩුවේ බුද්ධි නිලධාරීන් අනාවරණය කරගත් තොරතුරු අනූව ඉදිරි සතිවලදී තවත් ශ්‍රී ලාංකික සරණාගතයන් 2000 ක් පමණ ඉන්දියාවට පැමිණීමට ඉඩ ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය පවසයි.
වෙරළාරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සරණාගතයන් ඉන්දියාවේ 1967 විදේශ ගමන් බලපත්‍ර පනත යටතේ කටයුතු කිරීමට නියමිත බව පැවසේ.