මහ පොළොවේ මිනිස්සුන්ට මෙහෙයක් වන ගුවනේ විරුවෝ..

 
 

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම දායක වනවා සේම රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එදා මෙදා තුර තම මාතෘභූමිය සහ ජාතිය වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය අතිමහත්ය.

ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය අවුරුදු 70ක කාලය තුළ ආරක්‍ෂක තර්ජන, ජාතික ව්‍යසනයන්, ආපදා සහ හදිසි අවස්ථාවලදී අසමසම සේවාවක් සිදු කර තිබෙන අතර, ජනතාවගේ සුබසාධන කටයුතු ඉටු කිරීම සඳහා ද සුවිශේෂී දායකත්වයක් සපයා තිබේ. ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ආරක්ෂා කිරීමේ නියමුවා ලෙසින් පෙනී සිටින අතරතුර රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල්, රෝහල්, දුම්රිය ස්ථාන, ළමා නිවාස ඇතුළු පොදු ස්ථාන මෙන්ම පූජනීය ස්ථාන රැසක් ද නවීකරණය කිරීම සඳහා ගුවන් හමුදාව සිය ශ්‍රම දායකත්වය සපයා තිබෙන අතර, මේ තත්ත්වය තුළ ගුවන් හමුදාව තම දායකත්වය රට වෙනුවෙන් යළිත් වරක් ලබා දෙමින් වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ විශාල වැඩ කොටසක් සිදු කරන බව සිහිපත් කළ යුතුය.

දිවි හිමියෙන් කැප වී..

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරතුරු තම මාතෘ භූමියේ ආරක්ෂාව මෙන්ම සියලු ලක්වාසි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් කැප වී කටයුතු කරන අතර, කිසිදු අවස්ථාවක තම මාතෘභූමියට හෝ තම ජනතාවට අසාධාරණයක් සිදු නොකරන බව ඔවුන්ගේ කාර්යභාරය තුළ පසක් කර තිබේ. වර්තමානයේ අප රට තුළ ව්‍යාප්තව ඇති කොවිඞ් 19 වසංගතයෙන් ජාතිය බේරා ගැනිම සඳහා ජනතාවගේ ආරක්ෂකයා වෙමින් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරනු ලබන අපේ ත්‍රිවිධ හමුදාව කිසිඳු විටෙක ජනතාව සම්බන්ධයෙන් නොසිතා කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත.

ලෝකයේ සිටින මානුෂීයම හමුදාවන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගෙන සිටින ශ්‍රී ලංකාවේ හමුදාවන් පිළිබඳව විවිධ මත පැතිරීමට ඇතැමුන් උත්සාහ කළ ද එක් එක් කාලවලදි විවිධ මත සමාජගත කිරිමට ද ඔවුන් උත්සාහ කරනු ලබන බව විචාර බුද්ධියෙන් යුතු පුද්ගලයන්ට පෙනී යනු ඇත. එයට ප්‍රධානම හේතුව ලෙස අප දකින්නේ ඵල ඇති රුකට ගල් ගසනවා මෙන් ජනතාවගේ අවධානය තමන් වෙත හෝ තම සංවිධානය වෙත යොමු කර ගැනිමේ පහසුම ක්‍රමයක් ලෙස එවැනි පිරිස් විශ්වාස කිරීමය. දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති ත්‍රස්තවාදය අවසන් කළේ කිසිවකුත් නොසිතූ මොහොතකය. විශේෂයෙන්ම මෙහි ඇති වැදගත්කම වන්නේ සිවිල් ජනතාවට සිදු වන හානිය අවම කරමින් ත්‍රස්තවාදීන් විනාශ කර දැමීමය. මේ තත්ත්වය මනාව තේරුම් ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සාම සාධක රාජකාරි කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හමුදාවන් යොදාගන්නේ ලොව අනෙකුත් හමුදාවන් අභිභවා ඉදිරියෙන්ම සිටින බැවිනි.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව තම ගුවන් සීමාව තුළ අද්විතීය ස්ථානයක් හිමි කර ගනිමින් එදා මෙදාතුර ඉටු කර තිබෙන මෙහෙය ප්‍රශංසනීය වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම දායක වනවා මෙන්ම රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් ද ඉටු කරනුයේ අනුපමේය මෙහෙවරකි. මෙවන් මෙහෙවරක නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද වන විට සමෘද්ධිමත් දේශයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටී. එවැනි උත්සාහයක නිරතව සිටින අතරතුර කොවිඩ් 19 වසංගත අභියෝගයට ද සාර්ථක ලෙස මුහුණ දෙන අතරතුර ස්වභාවධර්මයාගේ යම් යම් වෙනස්කම්වලට, බලපෑම්වලට ද මුහුණ දෙන්නට සිදුව තිබේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලට මේ දිනවල බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව බේරා ගැනීමේ කාර්යයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෘජුවම මැදිහත් වී සිටී.

පැය 24 පුරා අවදියෙන්..

තම දිවි දෙවැනි කොට ජාතිය බේරා ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් මැදිහත් වන ගුවන් හමුදාව ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනයා බේරා ගැනීම වෙනුවෙන් පැය 24 පුරා නෙත් දල්වාගෙන සිටීම විශේෂත්වයකි. ජල ගැලීම්, ධාරානිපාත වැසි, නාය යෑම් තත්ත්වයන් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88 කට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ජල ගැලීම් සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පවුල් 6,176 කට අයත් පුද්ගලයන් 26,846 දෙනෙකු මේ වන විට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවලට කොටු වී සිටිති. කෙසේ වුවද ජල ගැලිම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ගුවන් මඟින් රැගෙන යෑම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ගුවන් හමුදාව දායකත්වය සපයා දී තිබේ.

මේ වෙනුවෙන් අංක 6 සහ අංක 7 හෙලිකොප්ටර් බලඝනය ක්‍රියාත්මක වී සිටින අතර, එය පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. මේ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ එයින් රට සහ ජනතාව මුදා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර, දිවයිනේ උද්ගත වී ඇති කොවිඩ් -19 වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවාව දැනට ඇති රුධිර සංචිතයන් ස්ථාවරව තබා ගැනීම මහත් අභියෝගයක් වී ඇත. මේ තත්ත්වය තුළ රුධිර සංචිතයන් ස්ථාවරව තබා ගැනීමට සහය දැක්වීමේ අරමුණින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි ලේ දන්දීමේ වැඩසටහන් රැසක් දැනටමත් පවත්වා ඇත. ලේ දන්දීමේ වැඩසටහන්වලට අමතරව කෝවිඩ් 19 ආසාදිතයන්ගේ ව්‍යාප්තිය වේගවත් වීම හේතුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීමට ද ගුවන් හමුදාවේ දායකත්වය ලැබී තිබේ.

රජයේ වැඩසටහන්වලට සහාය..

කොවිඩ් 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩසටහන්වලට සහාය ලබා දෙන අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් දැවැන්ත මුදා ගැනීමේ ක්‍රියාදාමයන්ට ද සිය දායකත්වය සපයා දී තිබේ. පසුගිය 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ නැඟෙනහිර මුහුදේදී අනතුරකට ලක් වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මෙන්ම කොළඹ වරායට කිලෝමීටර් කිහිපයක් ඈතින් මුහුදේදී ගිනි ගැනීමකට ලක් වූ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව මුදා ගැනීම වෙනුවෙන් ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අනර්ඝ දායකත්වය ලබා දුන්නේය. පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ගිනි ගෙන විනාශ වී ගිය ද බොර තෙල් මෙට්‍රික් ටොන් 270,000 ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 1,700 ක් ප්‍රවාහනය කරමින් සිටි නිව් ඩයමන්ඩ් නෞකාව බේරා ගැනීමට සාර්ථක මෙහෙයුමකින් පසුව හැකි විණි.

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති ත්‍රස්තවාදය සාර්ථක ලෙස අවසන් කළ හමුදාවකට මෙවැනි බාහිර ක්‍රියාදාමයන් ඉතාම සුළු දෙයකි. මෙවැනි සුවිශේෂී කාර්යයන් රැසකට දායකත්වය සපයා දෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව රටේ සංවර්ධනයට ද සුවිශේෂී මෙහෙයක් ඉටු කරමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සෘජුවම දායක වනවා සේම රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් ද ඉටුකරනුයේ අනුපමේය මෙහෙවරකි. මෙවන් මෙහෙවරක නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද වන විට සමෘද්ධිමත් දේශයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70වැනි අභිමානවත් සංවත්සරයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශය සංවර්ධනය කිරීමට ද පියවර ගත්තේය.

ගුවන් හමුදාපතිගේ ප්‍රකාශය..

මෙවැනි දැවැන්ත මෙහෙවරක් වෙනුවෙන් නායකත්වය හා නිවැරදි මඟ පෙන්වීම සිදු කරන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් සඳහන් කරන්නේ මේ ආකාරයෙනි “රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද වන විට රටේ සංවර්ධනය සහ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමෙහිලා වැඩි දායකත්වයක් ලබා දෙනවා. ලකඹර සුරැකීම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මේ වන විට වසර 70ක් සම්පූර්ණ වෙනවා. පසුගිය අවුරුදු 70ක කාලය තුළ ආරක්‍ෂක තර්ජන, ජාතික ව්‍යසනයන්, ආපදා සහ හදිසි අවස්ථාවලදී අසමසම සේවාවක් සිදුකර තිබෙන ගුවන් හමුදාව කොවිඩ් 19 වසංගතයට ද එරෙහිව ක්‍රියාත්මක වී සිටිනවා. ඒ වගේම මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සහ ඔවුන් මුදා ගැනීමේ කටයුතු වෙනුවෙන් ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා.

වසර 70ක පමණ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදී තිබෙනවා. එහිදී ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කළ සියලු ගුවන් විරුවන් කෘතවේදීව සිහිපත් කරනවා. යුද්ධය අවසන් වූ පසුව රටේ ඇති වන ඕනෑම හදිසි තත්ත්වයකදී වුවද ගුවන් හමුදාව උපරිමයෙන් සිය දායකත්වය සපයා දී තිබෙනවා. රටේ සංවර්ධනයට ද අපේ හමුදාව විශාල දායකත්වයක් ලබාදෙමින් සිටිනවා. ඉදිරියටත් එම කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන්න අපි සූදානම්” යනුවෙනි.

රටක සංවර්ධනය අපේක්ෂා කරන්නේ නම් එය ග්‍රාමීය මට්ටමේ සිට ආරම්භ කළ යුතුය. නිදහසින් පසුව ගෙවුණු වසර 73 ක ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට ඒ තත්ත්වය කිසිදු රජයක් අවබෝධ කර නොගත්ත ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ වත්මන් රජය ඒ තත්ත්වය මනාව අවබෝධ කර ගෙන තිබෙන බව පෙනේ. ඒ අනුව ග්‍රාමීය මට්ටමින් රට සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයට අවතීර්ණ වී තිබෙන අතර, එවැනි දැවැන්ත වැඩපිළිවෙළකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලැබෙන දායකත්වය අතිශය ප්‍රශංසනීයය. රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගුවන් හමුදාව අද වන විට විවිධ හදිසි තත්ත්වයන්ට මෙන්ම ජාතික සංවර්ධනය වෙනුවෙන් දායක වී සිටීම සියලු පාර්ශ්වයන්ගේ ආදාරයට, ගෞරවයට පාත්‍ර විය යුතුය.

මහින්ද අලුත්ගෙදර
ඡායාරූප – ගුවන් හමුදා මාධ්‍ය අංශය

Back to top button