ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රංශයේ අගනුවර වන පැරිස් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල (BIA) සහ ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපල (CDG) අතර නියමිත ගුවන් ගමන් 2021 නොවැම්බර් මස1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, පිරිමැසූම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28 කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා බලඇණියක් උපයෝගී කරගනිමින් සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාද දිනකම ශ්‍රීලංකන් ප්‍රංශය වෙත පියාසර කරනු ඇත. මෙහෙයුම් වාර ගණන සතියකට තුන් වරක් වන අතර ගුවන් ගමන් කාලය පැය 11 විනාඩි 25 ක් පමණ වේ. යූඑල් 563 දරණ ගුවන් යානය කොළඹ සිට පැය 00:35 ට පිටත් ව පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපලේ පැය 07:30 ට ගොඩබැසීමට නියමිතයි. නැවත යූඑල් 564 පැරීසියේ සිට එදිනම පැය 14:30 ට පිටත් ව පසුදින පස්වරු 05:20 ට පමණ කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ කොළඹ සහ පැරීසිය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම ගැන සතුටට පත්වන බවයි. “ ප්‍රංශය සහ ලොව පුරා සිටින අපගේ මගීන්ගේ සංචාරක අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන නව මාර්ගය මෙයයි. නව ගමනාන්තයක නිවාඩු ගතකිරීමට සොයන අයට සහ ව්‍යාපාරික සංචාරකයින්ට පැය කිහිපයක් ඇතුළත සෘජු ගුවන් ගමන් ලබාගැනීමේ අවස්ථා මෙමගින් විවර වනු ඇතැයි මට දැඩි විශ්වාසයක් තියෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක සංචාරක ව්‍යාපාරය නව ආරක්ෂක පියවරයන් ගෙන ඒමට උත්සාහ කරනවා. ලොව පුරා සම්මත වූ නව සංචාරක ව්‍යාපාර යටතේ ලංකාව කදිම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙය විශාල අවස්ථාවක් ලෙස අපි සලකනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.