ශ්‍රීලංකන් ගුවන් සමාගම කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය සීෂෙල්ස් වෙත පියාසර කිරීමෙන් පසු නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් සිදුකරන දෙවන ගමනාන්තය ලෙස කෙන්යාව එක්වනු ඇත. ඒ අනුව නැගෙනහිර අප්‍රිකාවේ විශාලතම හා කාර්යබහුලම ගුවන්තොටුපළ වන ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ (NBO), සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල (BIA) අතර අද (22 ) දින සිට මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම බ්‍රහස්පතින්දා දිනකම නයිරෝබි වෙත සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා පිරිමැසුම් පන්තියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 ක් සහිත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානා යොදවා ඇත. යූඑල් 1715 ගුවන් යානය පැය 10:45 ට කොළඹින් පිටත් වී පැය 14:40 ට ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසිනු ඇත. පසුව UL1716 නයිරෝබි සිට පැය 04:40 ට පිටත් වී පැය 13:55 ට නැවත කොළඹට ලඟාවීමට සැලසුම් කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රිකානු කලාපයට ව්‍යාප්ත කරමින් කෙන්යාවේ අගනුවර වෙත ගුවන් ගමන් දියත් කිරීම ගැන අපි සතුටු වෙනවා. නව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ගෝලීය මාර්ග ජාලය හරහා බාධාවකින් තොරව සම්බන්ධතා ලබා ගනිමින් බොහෝ අය කෙන්යාවට ගොස් ලෝකයේ විශ්මය ජනක වන සතුන් ගවේෂණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ”