ලංකාව සියළුම විදේශීය ණය ගෙවීම අත්හිටුවයි..

ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත සියළුම විදේශීය ණය පියවීම් තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂණිකව විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේ විදේශ ණය පියවීම් අභියෝගකාරී මෙන්ම යථාර්ථයක් නොවන තත්ත්වයක් මතු වී ඇති බවයි.

මේ නිසා විශාල ණය පැහැර හැරීමක් වළක්වාලීම සඳහා එම පියවීම් යළි සැකසීමට මෙම පියවරට එළඹුණු බව ඔවුන් සදහන් කළා.

කෙසේ නමුත් එය තාවකාලික පියවරක් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ණය දායකයන් සමග එකඟත්වයකට පැමිණෙන තුරු එය ක්‍රියාත්මක වන බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කළා.

රොයිටර් පුවත් සේවය සහ ප්‍රංශ පුවත් සේවය මගින් පළ කළ මේ පිළිබද වාර්තා එන්.ඩී.ටී.වී, හින්දුස්ථාන් ටයිම්ස්, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු සියළුම ඉන්දීය පුවත්පත්වල විශාල ප්‍රසිද්ධියක් ලබාදී පළ කර තිබුණා.

රොයිටර් පුවත් සේවය සදහන් කරන පරිදි මේ වසරේ මෙරට සමස්ත ණය සේවාකරණය ඩොලර් බිලියන 7ක් පමණ වන අතර දැනට පවතින හිඟය ඩොලර් බිලියන 3ක් පමණ වනවා.

Back to top button