ජපානයේ දී මියගිය ‘ලංකාවේ තරුණිය ගැන’ එරට මාධ්‍ය හෙළි කළ දෑ..

ජපානයේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක සිටි ශ්‍රී ලාංකික තරුණිය මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට අධිකරණ ඇමතිවරිය උපදෙස් දී ඇති බව ලංකාවේ සහ ජපානයේ පුවත්පත් වාර්තා කර තිබෙනවා.

33 හැවිරිදි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නමැති එම තරුණිය ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක හුදෙකලා කාමරයක රඳවා සිටි ඇති අතර එහි රැඳවියන් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ දී ප්‍රතිචාර නොදැක්වීම සහ සිහිසුන්ව සිටීම හේතුවෙන් අදාළ තරුණිය රෝහල්ගත කිරීමට එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය කටයුතු කරතිබුණා.

එහිදී රෝහල් බලධාරීන් තහවුරු කර ඇත්තේ එම තරුණිය මිය ගොස් ඇති බවයි.

මෙම තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බවට පැමිණිලි කර ඇති බවත් එම ස්ථානයේ සහ ඉන් පිටත වෛද්‍යවරුන් විසින් ඇය පරීක්ෂා කර ඇති බවත් එරට අධිකරණ අමාත්‍ය කමිකාවා යොකෝ සඳහන් කළ බව NHK පුවත් සේවය සඳහන් කරනවා.

මේ අතර, ජපානයේ පුවත්පත්වල දැක්වෙන්නේ, ඇය ගලනාලය ආශ්‍රිතව රෝගී තත්ත්වයක් හේතුවෙන් ආහාර ගැනීමේ අපහසුතාවක් පැවති බවයි.

ඒ හේතුවෙන් ඇය දීර්ඝ කාලයක් ආහාර ගෙන නොමැති බව ජපානයේ මාධ්‍ය පෙන්වා දෙනවා

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණිය 2017 වසරේ ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් ඇති අතර වීසා කල් ඉකුත් වී තිබියදීත් රට තුළ රැඳී සිටීම හේතුවෙන් 2020 වසරේ අගෝස්තු මස ඇය එරට ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන මෙලෙස රඳවා තබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button