සුනිල් පෙරේරා මහතා මෙරට සංගීත ක්ෂේත්‍රයේ අසමසම හඬකට උරුමකම් කියමින්, තමාටම ආවේණික අපූර්ව ගැයුම් විලාසිතාවකින් රට රස ගැන්වූ චරිතයකි.
මියයන විට 68 වැනි වියේ පසුවූ ඔහු හදවතින් තාරුණ්‍යයේ පසුවූ කලාකරුවෙකි.
පසුගිය දිනවලදී කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරේරා මහතා සුවය ලබා නිවසට ද පැමිණ විවේකීව කල් ගෙවමින් සිටියේය.
නිවසේ සිටින අතරතුර ඇතිවූ නියුමෝනියා තක්ත්වයක් හේතුවෙන් පසුගිය 3 වැනිදා ඔහු යළිත් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණි.
එලෙස අසනීප තත්ත්වය දරුණු වූයේ දශක 5ක් පුරා මෙරට රසික හදවත් ස්පර්ශ කළ ඒ හඬ සදාකාලිකවම නිහඬ කරමිනි.
අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා උපත ලබන්නේ 1952 සැප්තැම්බර් 14 වැනිදාය.
ඔහු මොරටුව සාන්ත සෙබස්තියන් සහ බම්බලපිටිය සාන්ත පීතර යන විද්‍යාලවල ආදි සිසුවෙකි.
ඇන්ටන් පෙරේරා වන සිය පියා ඇරඹූ ජිප්සීස් සංගීත කණ්ඩායමට 1969 වසරේදී එක්වන විට සුනිල් වයස අවුරුදු 11ක කුඩා දරුවෙකි.
එතැන් පටන් සුනිල් පෙරේරා යන චරිතය ගායකයෙකු, වාදකයෙකු, ගීත රචකයෙකු හා තනු නිර්මාණ ශිල්පියෙකු ලෙස අද්විතීය සලකුණක් ලෙස කැපී පෙනෙන චරිතයක් වන්නට පටන් ගත්තේය.
සිය සොයුරන් වන නිහාල්, ලාල්, අමල්, පියල් ඇතුළු ඥාති සොයුරන් කිහිප දෙනෙකු සමග ජිප්සීස් සංගීත කණ්ඩායමට නායකත්වය දුන් සුනිල් මෙරට කණ්ඩායම් සංගීතය, ප්‍රසංග කලාව නව මාවතකට ගෙන ගියා පමණක් නොව මෙරට සංගීතයට නව හැඩයක් ද නිර්මාණය කළේය.
සංගීත කණ්ඩායම් රැසක් අතර අදටත් ජිප්සීස් වෙනස් වන්නේ සුනිල් ඊට දුන් අනන්‍යතාව නිසාය.
මෙරටට පළමුවරට නනස්ටොප් ගීත කැසට්පටය හඳුන්වා දුන්නේ ද ජිප්සීස් ය.
ගීත 12කට සීමා වූ කැසට්පට සම්ප්‍රදාය බිඳිමින් ගීත හතරක කැසට් පටයක් නිර්මාණය කරන්නේ ද ජිප්සීස් කණ්ඩායමය.
ඒ “ලුණු දෙහි” නමිනි.
එම කැසට් පටය එවක ආදායම් වාර්තා ද බිඳින්නට සමත් වී තිබුණි.
අසූව දශකයේ මුල් භාගයේදී සුනිල් නිර්මාණය කළ කුරුමිට්ටෝ කැසට් පටය මෙරට ගීත කලාවේ අසමසම පෙරළියක් ඇති කළේය.
හුදෙක් ගායනයට පමණක් සීමා වූ සංගීත වේදිකාව ප්‍රාසාංගිකව ප්‍රාණවත් වූයේ සුනිල් නිර්මාණය කළ එම වෙනසත් සමගිනි.
එපමණක් නොව නෝනේ මගේ සුදු නෝනේ, ඕයේ ඔජායේ, පිටිකොටපන් නෝනේ, සිංඤෝරේ, තාත්තා මට ඇනපු ටොක්ක, අයි ඩෝන්ට් නෝ වයි ආදී සුනිල් ගැයූ ගී එදා මෙන්ම අදත් එක ලෙසම ජනප්‍රියය.
ජාතීන් අතර සමගිය ඇතිකරගැනීමේ වැදගත්කම ද ඔහු සිය නිර්මාණ හරහා නිරන්තරයෙන් මතු කරන්නට උත්සාහ කළේය.
එමෙන්ම කුහකකමකින් තොරව නවකයින්ට අතදීමත් සහ නිර්ලෝභීව තම ගීත ඔවුන්ට ගයන්නට ඉඩ දීමත් සුනිල් සතු වූ තවත් සුවිශේෂී ගුණාංගයකි.
සංගීතයේ තමන්ටම ආවේණික අනන්‍යතා නිසා ජනප්‍රිය වූ සුනිල් තම සමාජ හා දේශපාලනක මතවාද නිසා ද රටේ කතාබහට ලක් විය.
ඒ සිය සෘජු අදහස් හේතුවෙනි.
ගීතා කුලතුංග මහත්මියගේ ආදරණීය සැමියා වූ සුනිල් පෙරේරා සජිත්, ගයාන්, රෙහානා සහ මනීෂා යන දරුවන් සිව්දෙනෙකුට සෙනෙහෙබර පියෙකි.
සංගීත කලාවේ යුගයක පෙරළිකරුවෙකු වූ, අසමසම හඬ පෞරුෂය සුනිල්…ඔබට සුබ ගමන්.
සිය මිතුරාගේ නික්මයෑම පිළිබඳ සංවේදී වූ කලාකරුවන් මෙසේ අදහස් පළකර තිබුණි.
ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා, “මේක ආරංචි වෙච්ච ගමන් හිතාගන්න බැරිවුණා. සුනිල් නැති එක ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට වගේම ප්‍රසංගික කලාවටත් විශාල පාඩුවක්.”
ප්‍රවීණ ගායන ශිල්පිනී කොරින් අල්මේදා මහත්මිය, “දශක ගානක සංගීත ක්ෂේත්‍රයේ නිමාවක්.. ලොකු තිතක් තියලා තමයි එයා අද ගියේ. අපි සියලුම දෙනාව අතහැරලා දාලා දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා තියෙන්නේ.”
ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය සඳහන් කළේ, “එතුමා හරිම විශිෂ්ටයි. සුනිල්ගේ ඒ හැම නිර්මාණයකම යම් පණිවුඩයක් තිබුණා සමාජයට. හොඳ පණිවිඩයක්.”
ප්‍රවීණ ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතා සඳහන් කළේ, “සුනිල් අයියගේ අපි දැකපු විශේෂම ගුණය තමයි ඔහු ඔහුගේ පරම්පරාවෙන් පසු ආපු හැම පරම්පරාවටම ආදරේ කළා. ඔහු ඒ හැම පරම්පරාවටම ආශිර්වාද කළා. යම්කිසි කෙනෙක් අලුත් අලුත් දේවල් කළා නම් ඒ අලුත් දේවල්වලට පුදුම විදිහට ශක්තිය දුන්නා.”
ප්‍රවීන ගායන ශිල්පී නලින් පෙරේරා මහතා සඳහන් කළේ, “සුනිල් අයියා අද අපි අතර නැතත් මේ මරණය තුළින් අපි ඔබ සියලුමදෙනා දැනගත යුතු එකම දේ තමයි.. මේ කොවිඩ් මාරයාගෙන් අපි බේරෙන්න ඕනේ කියන දේ. මම ආදරෙන් වැඳලා ඉල්ලා සිටිනවා.. තවමත් එන්නත අරගෙන නැති අය ඉන්නවා නම් කරුණා කරලා ගිහිල්ලා අමාරුවෙන් පෝලිමේ ඉඳලා හරි ඒක ගහගන්න. මේ තමයි අපිට බේරෙන්න තියෙන එකම අවස්ථාව.”