වරිපනම් ඉල්ලන්න ගියවිට ‘පන්සලේ හිමිනම’ පොල්ලකින් ගහලා..

වරිපනම් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මහරගම නගර සභාවේ නිලධාරිනියක් පන්නිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය අවස්ථාවේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම නිලධාරිනිය ගමන් කළ ත්‍රිරෝද රථයේ රියැදුරුට හිමිනමක් පොල්ලකින් කළ පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ඇතැයි පොලිසිය කියයි.

මහරගම නගර සභා බලසීමාවේ පිහිටි මෙම විහාරස්ථානයෙන් නගර සභාවට අයවිය යුතු වරිපනම් බදු රුපියල් හතළිස්හත් දහසක මුදලක් ගෙවීමේ සිහිකැඳවීමක් ලබා දීම සඳහා වරිපනම් අංශයේ නිලධාරිනියක් ත්‍රිරෝද රථයකින් විහාරස්ථානයට ගොස් තිබිණි.

එහිදී වරිපනම් බදු පැහැර හැරීම සම්බන්ධයෙන් විහාරස්ථානයේ රැඳී සිටි හිමිනමකට කරුණු පැහැදිලි කරන අවස්ථාවේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරු හිමිනමට විරෝධය පළ කර තිබේ.

පසුව හිමිනම ත්‍රිරෝද රථ රියැදුරු හා නිලධාරිනිය සමග බහින්බස් වීමක් ඇතිවී එක්වර ම පොල්ලක් රැගෙන ත්‍රිරෝද රථ රියැදුරුට පහර දී ඇති අතර එය පාලනය කිරීමේදී රියැදුරුගේ දෙඅත්වලට තුවාල සිදුව ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

Back to top button