මහරගම නගරාධිපති හිතුමතේට වැඩ.. අනුමැතියකින් තොරව පොදු වැසිකිළියත් කඩයි..

මහරගම නගර මධ්‍යයේ පිහිටි පොදු වැසිකිලිය නගර සභා අනුමැතියකින් තොරව කඩා ඉවත් කිරීමට මහරගම නගරාධිපති ටිරාජ් පියරත්න ඊයේ (21) උදෑසන ක්‍රියා කර තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදී නගරාධිපතිවරයා හා මන්ත්‍රීවරුන් අතරත් මන්ත්‍රීවරුන් හා නගර සභා සේවකයින් අතරත් උණුසුම් වචන හුවමාරු වීම් සිදු වුණා.

එහිදී වැසිකිළි පද්ධතිය කඩා ඉවත් නොකරන ලෙසට හිටපු නගරාධිපතිනිය ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමඟ නගරාධිපතිවරයා පැමිණ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාරට පහරදීමක් ද සිදුකර තිබෙනවා.

මේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියට පැමිණිල්ලක් සිදු කළ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර ඉන් අනතුරුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබෙනවා.

වසර තිහකට අධික කාලයක් පුරා මහරගම නගර මධ්‍යයේ පිහිටි මෙම පොදු වැසිකිලිය දෛනිකව මහරගමට රෙදි වෙළඳාම සඳහා පැමිණෙන දහස් ගණන් ජනයාගේ අවශ්‍යතා ඉටු කළ ස්ථානයක්.

කෙසේ වෙතත් මහරගම නගරාධිපති ටිරාජ් පියරත්න මෙම වැසිකිළි පද්ධතිය කඩා ඉවත් කර ඇත්තේ, ඒ වෙනුවෙන් අලුතින් වැසිකිළි පද්ධතියක් ඉදි කිරීමෙන් තොරවයි.

අද මෙම වැසිකිළි පද්ධතිය කඩා දැමීමට නගර සභා සේවකයින් උත්සාහ දරන අවස්ථාවේ එහි ගිය හිටපු නගරාධිපතිනිය ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස නගරාධිපතිවරයාගේ ඉල්ලා ඇත්තේ, නව වැසිකිළියක් ඉදි කිරීමෙන් අනතුරුව පමනක් මෙය කඩා ඉවත් කරන ලෙසයි.

නමුත් නගරාධිපතිවරයා එම ඉල්ලීමට එකඟ නොවීම හේතුවෙන් එතැනදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

මෙහිදී තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණි මහරගම පොලීසියේ නිලධාරීන් සමඟ ද නගර සභා මන්ත්‍රීවරුන් උණුසුම් වචන හුවමාරුවක යෙදුනා.

කෙසේ වෙතත් විරෝධතාව හමුවේ වැසිකිළිය කඩා දැමීම නැවැත්වීම සඳහා හිටපු නගරාධිපතිනිය ඇතුළු මන්ත්‍රීවරුන් බැකෝ යන්ත්‍රයේ කුල්ල මත ද නැග විරෝධතාවය දැක්වූ අතර, එය ද නොතකා නගරාධිපතිවරයා වැසිකිළි පද්ධතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා

Back to top button