මේ වනවිට ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති ඩොලර් මිල නිසා රුපියල අව ප්‍රමාණය වීමත් එයට සමගාමීව යෙදවුම් පිරිවැය අධික ලෙස ඉහළ ගොස් තිබීමත් හේතුවෙන් නැවත පිරවූ ටයරයක නිෂ්පාදන වියදම රුපියල් 9,000 දක්වා වැඩි වී තිබෙන බැවින් අවම වශයෙන් 25%ක මිල වැඩිවීමක් නොලැබුණහොත් ලබන 15වනදා සිට ශ්‍රී ලංකා ගමණා ගමණ මණ්ඩලය වෙත ටයර් ලබාදීමට නොහැකි බව නිෂ්පාදන සමාගම් දැනුම් දී තිබේ.
මේ තත්වය යටතේ ටයර් නොලැබුණහොත් පවතින වෙළෙඳපොළට අනුව ටයර්වල හිඟතාවත් නව ටයර් මිලදී ගැනීම සඳහා ලංගමට මූල්‍යමය හැකියාවක් නොමැති වීමත් හේතුවෙන් දෛනික බස්රථ ධාවනය අඩාල විය හැකි බව ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සන්දේශයක් මගින් කැබිනට් මණ්ඩලයට කරුණු දක්වා ඇත.
මෙම මිල වැඩි කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීමට රාජ්‍ය අමාත්‍යංශ මගින් ඉකුත් ජනවාරි 18 වන දින තාක්ෂණික ඇගැයීම් කමිටුවක් පත්කළ අතර එම කමිටුව මගින්ද මෙම ඉල්ලීම සාධාරණ බව තහවුරු කර ඇතැයිද ප්‍රවාහන ඇමතිවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශයේ සඳහන් කොට තිබේ.
ලංගමට දිනපතා ධාවන කටයුතු පවත්වාගෙන යාමට නව ටයර් 1,800ක්, පෙරසවි ටයර් 10,184ක් සහ නැවත පුරවන ලද ටයර් 2,016ක් වශයෙන් ටයර් 14,600ක අවශ්‍යතාවක් පවතින බවද ඇමතිනිය පෙන්වා දෙයි.
ඇමතිනිය ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, නව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකාවට ටයර් සපයා ගැනීමේ හදිසි අවශ්‍යතාව සලකා නැවත පිරවුම් හා පෙරසවි සැපයීම් සේවාව පවත්වාගෙන යාමට ගිවිසුම් අනුව සේවා සපයන්නන්ගෙන් තවදුරටත් එම සේවය ලබා ගැනීමට අනුමැතිය දෙන ලෙසය.