ලක්ෂ 35ක දවසෙ ආදායමයි ‘වස්තුවයි’ අතහැරි හාමුදුරුවෝ..

අපි මේ යන්නේ ඇලීම් ගැටීම්වලින් පිරුණු සසර ගමනක. ජීවිතය කියන්නේ පුදුමාකාර නවාතැනක්. ලෝකයේ සෑම සත්වයකුටම මරණය කියන දේ උරුමයි. ජීවිතයේ සතුට සොයා යන ගමනෙදි කොතරම් සැප සම්පත් ලැබුණත් කොතැනක හරි දුකක් තිබෙන බව අපට වැටහෙනවා. ඇයි අපට පැවිදි වෙන්න හිතෙන්නේ? ජීවිතයේ කලකිරීම්, ගිහිගෙය එපාවීම් තරුණ සිතට දැනෙන්නේ ඇයි?

ජීවිතයේ එක් කාල පරිච්ජේදයක කෝටිපති ව්‍යාපාරිකයකු වශයෙන් සිට ඒ සියලු සැප සම්පත් අතහැර නිරාමිස සතුට සොයා ගිය තරුණයෙක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ ගාල්ල අහංගම ප්‍රදේශයෙන්. ඔහු ගිහි කල හැඳින්වූයේ චාමර ලක්මාල් සේනාරත්න නමින්. 2016 අවුරුද්දේ අගෝස්තු 28 වැනිදා ගාල්ල අහංගම ‘මෙත් බෝ සෙවණ’ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී චාමර පැවිදි දිවියට ඇතුළත් වෙනවා. දැන් උන්වහන්සේ හඳුන්වන්නේ පූජ්‍ය මිරිස්සේ සීවලී ස්වාමින්වහන්සේ ලෙසයි.

මේ තරුණයා පිළිබඳ සමාජ මාධ්‍යවල බොහෝ කතාබහට ලක්වුණේ ඔහු ගිහිව සිටි අවදියේ කළ ව්‍යාපාරවලින් දිනෙකට රුපියල් ලක්ෂ ගණනක ආදායමක් උපයාගත්තු නිසා වගේම අතිසුඛෝපභෝගී ජීවිතයකටත් ඔහු හිමිකම් කියූ නිසයි. මේ තරුණයා තම සුඛෝපභෝගී දිවි පෙවෙතට සමුදී අද ගතකරන ජීවිතයේ වෙනස කියැවෙන ඡායාරූප කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍යවල විශාල වශයෙන් හුවමාරු වුණා. මේ වෙද්දී උන්වහන්සේගේ පැවිදි දිවියට අවුරුදු 5කට වැඩියි. වත්මන් තරුණ ප්‍රජාව ලබාගන්නට හීන දකින සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිට, ඒ සියලු සැප සම්පත් මොහොතකින් අතහැර උතුම් පැවිදි දිවියට පත්වීම ගැන උන්වහන්සේ මෙසේ අදහස් පළ කළා.

‘තාත්තා ජීවිතය හැරගිය දවසේ මගේ ජීවිතය කඩාවැටුණා. ඒ, හරියටම 2014 අගෝස්තු 26 වැනිදා. එදා තමයි මට හිතුණේ මහණ වෙන්න ඕනේ කියලා. මට එදා ඉඳන් ගෙදර ඉන්න හිත දුන්නේ නැහැ. මම පැවිදි වෙන්න මාස දෙකකට කලින් වගේ තමයි ඒ ගැන අම්මට කිව්වේ. මම අම්මගෙන් ඇහුවා මොකද කියන්නේ කියලා. ඒ වෙලාවේ අම්මා හොඳටම ඇඬුවා. අඬලා කිව්වේ ‘ඔයාගේ කැමැත්ත ඒක නම් මට බැහැයි කියන්න බෑනේ’ කියලා. අම්මා ඒ වෙලාවේ ඒක විශ්වාස කළේ නැහැ. මොකද මම ගෙවපු කෙලිළොල් ජීවිතයත් එක්ක පැවිදි දිවියක් ගතකරයි කියලා අම්මා විශ්වාස කළේ නැහැ.

මම පැවිදි වුණේ 2016 අගෝස්තු 26 වැනිදා. ඒ වෙනකොට මට අවුරුදු 27යි. මට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් සහ බාල සහෝදරයෙක් ඉන්නවා. මම පැවිදි වුණාට පස්සේ මගේ වැඩිමහල් සහෝදරයාත් පැවිදි දිවියට පත්වුණා. ඔහු ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයෙක්. දෙවැනි අයියාත් ඉංජිනේරුවරයෙක්. එයා අම්මාව බලාගෙන ගෙදර ඉන්නවා. මම මගේ කියන සියලු දේ අත්හැරියා. බාල සහෝදරයාට මගේ ව්‍යාපාර කටයුතු භාරදීලා තමයි මම පැවිදි දිවියට ආවේ.

මිනිස්සු යමක් දැක්කාම ඒක ගැන තීරණ ගන්නේ ඒ දේ තමන්ගේ කරගෙන. ඒ ගැන කොහොමද කියලා සොයා බලනකොට දැනුණු දෙයක් තමයි බුදු දහමේ තියෙන්නේ මධ්‍යස්ථ වීම. කුඩා කාලේ මගේ කිසිම ආසාවක් තිබුණේ නැහැ පැවිදි වෙන්න. මට හැම වෙලාවේම අවශ්‍ය වුණේ සතුටෙන් ඉන්න. මම ගිහි කාලේ සංචාරක හෝටල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේ තාත්තාත් එක්ක. ඒක තියෙන්නේ මිරිස්සේ. තාත්තා මේ ලෝකේ හැරගියාට පස්සේ මම තනියෙම සේවකයන් පිරිසක් සමග ඒක පවත්වාගෙන ගියා. මම පැවිදි දිවියට පත්වෙද්දි සේවකයන් 30කට ආසන්න ප්‍රමාණයක් එහි සේවය කළා. 1995 වර්ෂයේ තමයි අපි මේ රෙස්ටුරන්ට එක සෙන්ට්‍රල් බීච් රෙස්ටුරන්ට් නමින් පටන්ගත්තේ. මම පාසල් ගියේ මිරිස්සේ මෙතොදිස්ත කනිෂ්ඨ විද්‍යාලයට සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට. එහිදී උසස් පෙළ කරලා හොටෙල් මැනේජ්මන්ට් ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඊට පස්සේ කොළඹ හිල්ටන් හෝටලයේ අත්දැකීම් අරගෙන අපේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. මම එහි අධ්‍යක්ෂක ධුරයක් දැරුවා. අපේ ඒ ව්‍යාපාරයේ ඇතැම් දිනවල දවසක ආදායම රුපියල් ලක්ෂ 35ක් වූ අවස්ථාද තිබුණා.

ගිහි කාලෙ මට ඩිෆෙන්ඩර් එකක් සහ තවත් වාහන තිබුණා. මට ගිහි ගෙය හැරයන්න විවිධ අත්දැකීම් බලපෑවා. ආදරයත් ඒ අතර එක දෙයක්. මට තේරුණා මිනිස්සු සම්බන්ධකම් පවත්වන්න ඕනේ බැඳීම් නඩත්තු කරන්න ඕනේ කියලා. ඒ ජීවිතය හරි අපහසු බව මට තේරුණා. මම හොයපු නිදහස් ජීවිතය එතැන නැහැ කියලා මට දැනුණා….’

චාමර ලක්මාල් සේනාරත්න තරුණයා පැවිදි වුණේ ගාල්ල මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේ. පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වය යටතේ පවතින එම භාවනා මධ්‍යස්ථානයට මේ තරුණයා සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ ගැනත් මිරිස්සේ සීවලී ස්වාමින්වහන්සේ සඳහන් කළා.

‘ගිහි කාලේ මම හරිම සංවේදී පුද්ගලයෙක්. සතෙක් මැරුණත් මට ඒක දරාගන්න බැහැ. හිඟන මනුස්සයෙක් දැක්කත් අසරණ සතෙක් දැක්කත් මම දුක්වෙනවා. ව්‍යාපාර කටයුතුවල ප්‍රශ්න එනකොටත් දරාගන්න බැහැ. ඒ හැම තැනකම දුකක් දැක්කා. ජීවිතය විඳින්න යනකොට අපිට හිතට දැනෙන පීඩාව දරාගන්න බැරිවුණා. ගිහි කාලෙ මම ජීවිතය වින්දා. උපරිම සතුටුවුණා. ඒ වගේම හම්බ කළ මුදල් වියදම් කළා. මිල මුදල් ලබාගත්තට පස්සේ දැනෙනවා අපි සෙව්ව සතුට එතැන නැහැ කියලා. ඒ විදියට මම මේ විඳවීම්වලින් ගැළවෙන්න පාරක් හොයනකොට තමයි පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේගේ අභිධර්ම දේශනා මාලාව අන්තර්ජාලයෙන් අහන්න ලැබුණේ. ඒ දේශනා අහනකොට මම තේරුම් ගත්තා ජීවිතය කියන්නේ මොකද්ද කියලා.

අපේ ලොකු ස්වාමින්වහන්සේ කිව්වා දවස් 5ක නේවාසික භාවනා වැඩසටහනක් තියෙනවා සම්බන්ධ වෙන්න කියලා. මම ඒකට සම්බන්ධ වුණා. පස්වැනි දවසේ මම ගෙදර ගිහිල්ලා ලොකු ස්වාමින්වහන්සේට කෝල් කරලා කිව්වා මට පන්සලට එන්න අවශ්‍යයි කියලා. මට මේ සිවුර දාගන්නකන් ඉවසුමක් නැතිවුණා. මම මගේ ව්‍යාපාරික මිතුරන්ට කතාකරලා කිව්වා මම පැවිදි වෙනවා කියලා. ඊළඟ දවසේ උදේ ඇඳුම් බෑගයත් අරගෙන අම්මාට වැන්දා. යාළුවන්ට එන්න කියලා මගේ තිබුණු සියලු දේවල් දුන්නා. වාහනය මල්ලිට දුන්නා. උදව් කරන්න ඕනේ කියලා හිතුණු අයට අනෙක් සියල්ලම දුන්නා. ඒ 2016 අගොස්තු 26 වැනිදා. එදා තමයි පැවිදි දිවියට පත්වුණේ.

මේ පැවිදි වුණු අලුත නම් හිත හදාගන්න ටිකක් අමාරු වුණා. හිතේ බලපෑම් වැඩියි. පරණ දේවල් එක්ක සෑහෙන සටනක් කළා හිත හදාගන්න. මම ආනන්දසිරි ලොකු ස්වාමින්වහන්සේට කිව්වා මට හිත හදාගන්න ඕනේ කියලා. ලොකු ස්වාමින්වහන්සේ මට උදව් කළා. මුල් අවුරුද්ද තමයි අමාරු වුණේ. ලොකු ස්වාමින්වහන්සේ දහම තේරුම් ගත්තු කෙනෙක්. බුදු හාමුදුරුවන්ගේ ඇත්තම පණිවුඩය මොකද්ද කියලා මිනිසුන්ට කියලා දුන්න කෙනෙක්. එහෙම ගුරුවරයෙක් යටතේ දහම තේරුම් ගැනීමට ලැබීම හරි පහසුයි. එදා ගත්තු තීරණය ගැන අද මම සතුටු වෙනවා. දුකක් නැහැ. මම හැමෝටම කියන්නේ ප්‍රශ්නවලට මුහුණ දීලා අභියෝගවලට මුහුණ දීලා ජීවිතයේ ආශ්වාදය, ආදීනවය, නිස්සරණය කියන දේ දකින්න කියලයි….’ යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.

ලෝකයේම තියෙන වටිනාම ඇඳුම වන්නේ බුද්ධ චීවරයයි. එය දරන්න පින තිබෙන්නේ ඉතා සුළු පිරිසකට පමණයි. ලෞකික සැප සම්පත් පසුපසම දුවන අතිබහුතරයක් දෙනා අතරින් සසරේ හුරුකළ පින් ඇති අතලොස්සක් ඒ බුද්ධ චීවරය දරන්න සුදුසුකම් ලබනවා. ඒ උතුම් බුද්ධ පුත්‍රයන්වහන්සේලා අධිවේගී ජීවන රටාවෙන් මිදිලා නිහඬ වනපෙත් තුළ, හුදෙකලා කුටි සෙනසුන් තුළ වැඩසිටිමින් කල්ප ගණනක් තමන්ව සසරට බැඳ තබපු කෙලෙස් මාරයා පරදන්න වීර්ය වඩනවා. එවැනි උතුම් බුද්ධ පුත්‍රයන්වහන්සේලා අදත් මේ පුංචි රටේ අප්‍රමාණව වැඩසිටීම අපි හැමෝගෙම භාග්‍යයක්. පූජ්‍ය මිරිස්සේ සීවලී ස්වාමින්වහන්සේත් අයත් වන්නේ ඒ පුණ්‍යවන්ත කුලකයටමයි.

උන්වහන්සේ වත්මන් තරුණ පරපුරට ලබාදෙන පණිවුඩය ඉතා වටිනා එකක්. ජීවිතය ඉදිරියට ප්‍රශ්න පැනනඟිද්දී, නොසිතූ සිදුවීම් නිසා ජීවිතය කඩාවැටෙද්දී සියදිවි නසාගන්න තරුණ තරුණියන් අතර උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. සියලු ප්‍රශ්න නිර්මාණය කරන්නේ තමන්ගේ සිතම බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. සිත නමැති ඒ මාරයා අවබෝධ කරගැනීමේ මාර්ගයට උන්වහන්සේ ප්‍රවිෂ්ට වුණා.

මිරිස්සේ සීවලී හිමියන් අද ඉතාමත් නිදහස් මනසින් යුතුව තමන්වහන්සේගේ අවිවේකී අතීතය සිහිකරනවා ඇති. ඒ අවිවේකී ජීවිතය තුළ රැස්වුණු අකුසල් කන්ද දකිනවා ඇති. නමුත් අද උන්වහන්සේගෙ සන්තානය තුළ රැස්වෙන්නේ අතහැරීමේ මහා පුණ්‍ය ශක්තියමයි. ඒ පුණ්‍ය ශක්තිය විසින්ම උන්වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය නුදුරේදීම ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවැනි පුණ්‍යවන්ත දරුවන් ශාසනයට පූජා කළ ආදරණීය මෑණියන්ටත් අපේ ගෞරවනීය ආශීර්වාදය පුද කරනවා…

Back to top button