සම්බුදු තෙමඟුල අදයි..

අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ උපත, බුදු වීම සහ පරිනිර්වාණය සිහිපත් කරවන 2565 වැනි සම්බුදු තෙමඟුල අදට (26) යෙදී ඇත.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව ද අද උතුම් තෙමගුල සැමරීමට පිළිවෙතින් සූදානම්ව සිටිති.

ලොවපුරා පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර නිවසේ සිට පෙහෙවස් සමාදන් වන ලෙස ත්‍රෛයි නිකායික මහානායක හිමිවරුන් මෙන්ම බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය ද කාරුණික ඉල්ලීමක් කර තිබිනි. ඒ අනුව මෙවර වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් තම නිවෙස්වල සිට ආගමික වතාවත්වලයෙදී සිටීම විශේෂත්වයකි.

යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සැළසුම් කර තිබුන ද පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම රාජ්‍ය උත්සවය නොපැවැත්වීමට පියවර ගත් බව බුද්ධශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කරයි.

නිරෝධායන නීති-රීති උල්ලංඝනය වීම වැළැක්වීමේ අරමුණින් මෙවර තොරණ, දන්සල්, ප්‍රදර්ශන කිසිවක් නොපවත්වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිනි. එබැවින් සෑම නිවෙසකම රාජ්‍ය හා පෞද්ගලික ආයතනයකම බෞද්ධ කොඩි සහ අනිකුත් සැරසිලිවලින් ආලෝකවත් කරන ලෙස රාජ්‍ය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රත්නසිරි පතිරණ

Back to top button