පාස්කු ප්රහාරයෙන් දෙවසරකට පසු කටුවපිටිය දේවස්ථානයට ගියෙමු….
* ඔව් දේව කරුණාවෙන් යළි ගොඩනැගෙන්නේ ඒ සුන්බුන් ගොඩමය
සර්වබලධාරි දෙවියන් වහන්සේ කෙරෙහි බැතියෙන් සැදැහැතියෝ පිරිසක් ඒකාත්මිකවැ සවන්පත් යොමාගෙන දේව පණිවුඩය අසමින් නිසොල්මන්ව නිහඬවම සිටියහ. දේශකතුමාණන්ගේ ආකර්ෂණීය කටහඬ වා ගැබ සිසාරා රැව් පිළිරැව් දෙමින් තිබුණි. ඒ අපූරු උදාසනේ සියල්ල හොඳින් සිදුකෙරෙමින් පැවතුණි.
එක්වරෙම ගොර බිරම් නදක් ඇසුණි. ශාලා පියස්ස ද කඩාවැටුණි. සියල්ලෝ බියෙන් බිම හොත්හ. නැත. සියල්ලෝ බිම වැටී සිටියහ. බොහෝ දෙනා කිසිත් නොදොඩාම අවසන් නින්දේ ය. අතපය ගැලවී සිරුරු දෙකඩ අකඩ වී රුධිරය ගලමින් තවත් බොහෝ දෙනා මර බියෙන්, මහ හයියෙන්, වේදනාවෙන් වැළපෙමින් හුන්හ. එකම ලේ විලකි. එකම වැළපිල්ලකි. එකම දුඃඛදායක සංවේගී දසුනකි.
ඒ මීට දෙවසරකට පෙරාතුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනින්ද්රයාණන්ගේ දේවස්ථානයේ පාස්කු දේශනය පියතුමන් පවත්වමින් සිටි අවස්ථාවේදී උම්මත්තක, විකෘති මනසකින් හෙබි ස්වයං ඝාතක බෝම්බකරුවකු විසින් පුපුරුවා ගන්නා ලද බෝම්බයකින්, කිතුනු බැතිමතුන් රැසක් මියගොස් තව පිරිසක් සදාකාලික කායික, මානසික ආබාධ ඇතියවුන් බවට පත්වූ අති සංවේගී සංවේදී මොහොතයි.
මේ ජන ඝාතක, ජන පීඩක මිථ්යා දෘෂ්ටික ලබ්ධික තිරිසනා පුපුරුවා ගත් බෝම්බය හේතුකොටගෙන එකම පවුලේ සියලූ දෙනා ද එක් අයෙක් පමණක් ඉතිරි වී අන් සියල්ලෝ ද, ඥාති මිත්රාදීහු ද වන්දනා පිරිස් ද ආදී වශයෙන් වෙන් කළ හෝ නොකළ පිරිස් ද මියගියහ. අබ්බගාතවූවෝ අදටත් දුකින් වේදනාවෙන් ම පෙළෙමින් සිටිති.
මිථ්යා දෘෂ්ටිකයනට හෝ සිත් පිත් නොමැති බෝම්බයකට කිතුනු බැතිය, දයාව, ආදරය හෝ අභිමානය සුන්කරලීමට නොහැකි බව ප්රකාශ කරමින් මෙන් අද දවසේ කටුවාපිටිය දේවස්ථානය, යළි සාඩම්බරයෙන් හා අභිමානයෙන් නැගී සිටියි. ෆීනික්ස් පක්ෂියකු මෙන් සුනීල අහස අරක්ගෙන සිටී.
මමත්, කි්රප්ස් කුරේරා හා කැනියුට් එඞ්වඞ් මිතුරනුත් එහි ගියේ වසර දෙකකට පෙරාතුව බිඳ වැටුණු, බිම වැටුණු, කිතුනු පල්ලියත් සදාකාලික වේදනාවට පත්වූ බොහෝ දෙනාත් දැකබලා ගැනීම පිණිසමය.
දේවස්ථානය වටාත්, ඉදිරිපසත් ආරක්ෂක අංශ යොදවා දැඩි ලෙස රැකවල් කර තිබුණි. පල්ලියේ දෛනික යාච්ඤාවන් උදෙසා ද, බෙන්සාරු කරගැනීම්, ආශිර්වාද ලබාගැනීම් හා වෙනත් කටයුතු සඳහා බොහෝ සැදැහැතියන් පැමිණෙමින් තිබුණි. පල්ලියේ ඇති මහා අනුහස් ලබාදෙන ළිඳකින් දිය පානය කිරීමට, රැගෙන යෑමට තවත් පිරිස් පැමිණ තිබුණේ එම ශුද්ධ ජලයේ ලෙඩ සුව කිරීමේ මහා අනුහස් බලයක්, ප්රාතිහාර්යයක් ඇති බවක් පවසමිනි. කොරෝනා බිය තිබුණ ද හඳුන්කූරු ඉටිපන්දම් වෙළෙඳුන් වෙළෙන්දියන් තම ජීවනය ගැටගසා ගනිමින් දරුවන් සුපෝෂණය සඳහා පල්ලි ප්රවිෂ්ඨ භූමියෙහි රැඳී සිටියහ. වන්දනාකරුවෝ ද නඩ නඩ යමින් එමින් සිටියහ.
මේ සියලූ දෙනා තුළම පොදු වශයෙන් දක්නට ලැබුණු සුවිශේෂී කරුණකි. එනම් ඒ දෑස්වල දක්නට තිබූ බියේ සේයාවයි. සැකයේත්, අවිශ්වාසයේත් වපර සලකුණුයි. ඔවුන් කතා කළේ ද, හැසිරුනේ ද දඩයක්කරුවනට මුව පොව්වන් රංචුවක් ඇසට ඇස ගැසුණ නියායෙනි. එදා දවසේ බෝම්බයෙන් කම්පිත වූ ඔවුන් සිත් සතන් අද දවසේ බියෙන්, ත්රාසයෙන් වේදනාවෙන් සිය දහස් ගුණයෙන් ප්රකම්පනය වෙමින් ම පැවැතුණි. දෙවසරක් ගතවීත් මෙලෙස සිදු වූයේ ඇයි? සිත් සතන් සංහිඳියාවට, සැනසිල්ලට පත් නොවූයේ ඇයි?
ඊට පිළිතුරු සැපයුවේ, ශාන්ත සෙබස්තියන් මීසම පාලනාධිපති මංජුල නිරෝෂන ප්රනාන්දු පියතුමන්ය.
ගොඩනැගිලි සිය ගණනක් බිඳ හෙළා දැමුවත් අපට ඒවා යළි මාස කීපයකින් වසර කීපයකින් යළි ගොඩනැගිය හැකියි. ඒත් එදා දවසේ මාපියන් දරුවන් ඥාතීන් හිතවතුන් මියගොස් ඉතිරි වූ සෑම දෙනාගේ සිත් සතන් බිඳවැටුණු මානසිකත්වය අප කෙසේ ගොඩනගන්නද?
එකම පවුලේ මව, පියා, සොයුරු සොයුරියන් සැවොම මියගොස් ඉතිරි වූ එකම එක එක්කෙනාගේ තනිකම පාලූව බිඳුණු සිත අප කෙසේ පියවන්නද? අපට හැකිද එය ඉටුකරලන්නට? පල්ලියට යන එන මොහොතේත් දිවා ? දෙකේ දකින්නේත් කුරිරු මරණයේ වේදනා විලාපයයි. අන්ධකාරයේම වගේ ආ මරුවාගේ වේෂයයි.
ඒත් අප දැන් සියල්ල සුවපත් කරමින් යථා තත්ත්වයට පත්කරමින් සිටිනවා. එය වෙහෙසකර කි්රයාවක්. ඒත් එම කි්රයාව අප දුක් මහන්සි වී කැප වී ඉටුකරනවා.
ඇතැම් තනිවූ අය වේදනාව කෙතරම් ද යත්, නිවසේ නිදා නොගෙන කනත්තේ වළ දමා ඇති අය සමග රාති්ර නිදාගැනීමට පැමිනුණා. ඇතැමුන් දරුණු ගණයේ මානසික ලෙඩුන් වූවා. ඔවුන් සැමගේ වේදනාවන් වචනවලින් විස්තර කිරීමට බැරි තරම්.
අප මීසමට අයත්ව (2800) දෙදහස් අටසීයක වගේ කිතුනු බැතිමතුන් පිරිසක් සිටිනවා. ඊට අමතරව වන්දනාකරුවන් ශුද්ධ ජලයෙන් ලෙඩ සුවපත් කර ගැනීමට පැමිණෙන උදවිය. මෙම පල්ලියට දෛනිකව පැමිනුණා. ඒ වගේම තලවිල, මඩු දේවස්ථාන සඳහා ගමන් යන පිරිස් ද මෙහි පැමිණෙනවා. අපගේ පල්ලියේ විශාල සෙනඟක් ගැවසෙන නිසාවෙන් බෝම්බකරු සිය ඝාතන ඉලක්කය මෙහිදී ලබාගන්න ඇති.
මෙම සිද්ධියෙන් වඩාත්ම සංවේගී හා දුකට පත් වූයේ අප ගෞරවනීය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් වහන්සේයි. උන්වහන්සේ එදත් අදත් හෙටත් කිතුණුවන් වෙනුවෙන් ඔවුන්ගේ වේදනාවේ දුකේදී පෙනී සිටිනවා.
අගරදගුරුතුමන් අප සැම කැඳවා උන්වහන්සේ මේ දුඃඛප්රාප්ත කිතුනුවන් හා වේදනාවට පත් සැමට පිහිටවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් සකස් කළා. එය මනෝවිද්යාත්මක සමාජීය හා ආධ්යාත්මික කි්රයාමාර්ගයක්. එතුමා හඳුනාගෙන තිබුණා ඊට ප්රවේශ මාර්ගයන්. මේ නැතිවූ සියල්ල දෙවියන්වහන්සේ යළි ලබාදෙන බවට සැම දෙනා දෙවියන් වහන්සේ වෙත සමීප කරවීමට ද උන්වහන්සේ කි්රයාකළහ.
අවස්ථා තුන (03) කින් මෙම උදාර වැඩපිළිවෙළ සමන්විත වනවා. බිඳවැටුණු සිත් සතන් නගාසිටුවීම ආර්ථික වශයෙන් සවිමත් කරලීම, ආධ්යාත්මික සුව සහන ලබාදීම වැනි ක්රමවලින් දේව වරප්රසාද හිමිකර දීමක් සිදුකරනවා. එම පිරිස් කිසිදින ලොවේ තනි නොවුණු පුද්ගලයන් ලෙස තනි නොකර බලාගැනීමේ වගකීම හා යුතුකම ඉටුකරනවා.
උපදේශන වැඩ මාලාවක් ආරම්භ කළා. ඊට පල්ලියේ පියතුමා කන්යා සොයුරියන්, පළපුරුදු උපදේශකයන් නිරන්තරව යෙදවූවා. අද දවසේත් ඔවුන් ගෙන් ගෙට යමින් මෙම කාර්ය කරමින් සිත් සතන් සවිමත් හා දිරිමත් කරවනවා. වෛi කාර්ය මණ්ඩල උපදෙස් හා මානසික කායික, ප්රබෝධනයන් ඇතිකරවනවා. උග්ර ලෙස මානසික මට්ටම බිඳවැටුණු අයට මනෝ වෛi විශේෂඥවරුන් ලවා පැය විසිහතර පුරා උපදෙස් හා කි්රයාකාරකම් ලබා දෙනවා. වෛi කඳවුරු පවත්වනවා. ඔවුන් සමඟ ලොවම සිටිනවා යන්න ඔවුන්ට ඒත්තු ගන්වනවා.
ඊට අමතරව ඔවුන් ආර්ථික වශයෙන් ගොඩනැංවීමේ විශේෂ ව්යාපෘති දියත්කර තිබෙනවා. පුහුණු පංති පවත්වා ස්වයං රැකියාවලට යොමුකිරීම්, ඊට අදාළ මූල්ය හා ද්රව්ය, යන්ත්රෝපකරණ ලබාදීම් සිදුකරනවා. සන්නිවේදන මධ්යස්ථාන :ඣඵඵඹභෂක්්ඔෂධභී) සැලූන් හා වෙනත් සත්ව පාලන රැකියා ආදී දේවල් සඳහා යොමුකර තිබෙනවා. කිතුනු සභාවට ලැබෙන අරමුදල් මේ සඳහා යොදවනවා. දූෂණ වංචා නැහැ. ශත පහත් දුප්පතාටමයි.
කුලී ගෙවල්වල සිටි අයට නිවාස තනා දීමට රජයෙන් උපකාර ඉල්ලූවා. අප ඒ සඳහා කටුවපිටිය ප්රදේශයෙන් මිලියන පනස් පහක් (55) වැය කොට ඉඩමක් මිලදී රැගෙන දුන්නා. නිවාස (14) දාහතරක් රජයෙන් තනා දුන්නා. තවත් (7) හතක් ආයතන හා පුද්ගල අනුග්රහයෙන් ඉදිකර දී තිබෙනවා. අබලන් නිවෙස් රැසක් අලූත්වැඩියා කර දුන්නා. පසුගිය රජයෙන් ද මේ රජයෙන් ද උපකාර කරනවා.
කාදිනල්තුමා බොහෝ වෙහෙස ගන්නවා මේ මුදල් සෙවීමට. උන්වහන්සේ ජාත්යන්තර සබඳතා ගොඩනගා ගත් අයෙක්.
ඒ සමගම ආධ්යාත්මික ජීවනයක් උදෙසා විශේෂ උපදේශනයන් නිතිපතා, සති පතා පවත්වනවා.
කාදිනල්තුමන් ඇතුළු අප සැමට හැකි වී තිබෙනවා ඔවුන් එදා සිටි මානසික කායික, ආර්ථික, සමාජීය මට්ටම්වලින් ඉහළට ඔසවා තැබීමට.
ඒත් මෙසේ අප සැම ඉතා වෙහෙස මහන්සි වී දුක් විඳිමින් සුවපත් කළ ඒ කායික, මානසික තත්ත්වයන් මොහොතින් බිඳ හෙළා දමන කි්රයාවන් තවම සිදුකෙරෙනවා. සුවපත් වූ තුවාල, යළි සැතකින් සාරා රිදවා රුධිර ගලා යන තත්ත්වයට පත්කරවනවා.
සිත් පමණක් නොව, කය, අතපය බිඳුණු සිඳුණු සුජීවත්ව සිටින පිරිස් ද හමුවුණ ද ඔවුන් ගොළුවත රැක්කේ මේ රිදුණු තුවාල යළි පෑරේය යන බියෙන් හා සැකයෙන් විය යුතුය. ඇරත් විවිධ අය ඔවුන් ‘අඳුරේ’ පමණක් නොව ‘කතරේ’ ද තනිකර දමා ගොස් තිබුණි. මාධ්යයන් ඔවුන් රිදවූවයි ඔවුහු සිතති. අපේ වේදනාවන් ඇතැම් මාධ්ය මාකට් කළා. දේශපාලනයට උකස් කළා. සහයෝග දෙනු වෙනුවට ඔවුන් අප තනි කළා නැති කළා…
ඔවුහු චෝදනාමුඛයෙන් පවසති. එසේ වුවත් ඔවුන්ගේ වේදනාත්මක හඬට සැබෑ ඉඩක් වෙන් වන්නේ සැබෑ සත්ය, ජනතාවේදී මාධ්ය තුළ පමණක් බවද පහදා දුනිමි.
පල්ලිය නැගී සිටියාක් මෙන් ඇදවැටුණු කිතුනුවන් ද නැගී සිටිමින් දෙවියන් වෙත ළංවෙමින් සිටිනු දක්නට ලැබේ. බොදු කිතුනු දමිළ, මුස්ලිම් ඈ වේවා මේ සියල්ලෝ අප රට වැසියෝය. ශී්ර ලාංකිකයෝය. ඔවුන්ගේ වේදනාව, අපේත්, රටේත් වේදනාවයි. අපි ඔවුන් තනි නොකරමු. ඔවුන් ද අප තනි නොකරන බව කවර කතාද?
ටෙරන්ස් වනිගසිංහ