යුද ගිනිදැල් මැද සැතපුම් 600ක දුරක් තනිවම ගමන්කළ පුංචි වීරයා..

රුසියා-යුක්‍රේන යුද ගිනිදැල් මැද සැතපුම් 600ක දුරක් තනිවම ගමන්කළ 11 හැවිරිදි වියේ පසුවන කුඩා පිරිමි දරුවෙකු පිළිබඳව පුවතක් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ පුංචි වීරයා ගැන පුවත මේ වනවිට විදෙස් රටවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගින්නක් සේ පැතිර යයි.

ඔහු මෙතරම් දුරක් ගෙවා දමන්නේ ලිඛිත සටහනක්, ප්ලාස්ටික් බෑගයක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ තම පිටි අත්ලේ ලියූ දුරකථන අංකයක් සහිතවය.

පසුගිය සතියේ දිනකදී Zaporizhzhia හි යුරෝපයේ විශාලතම බලාගාරයට ප්‍රහාරයක් එල්ලවන අවස්ථාවේ මෙම දරුවාගේ මව දැඩි තීරණයක් ගෙන තිබේ.

තම මව තනිකර දමා ඇයට එම ස්ථානයේ පළායාමට නොහැකි වීමත් තම දරුවාගේ දිවි බේරාගැනීමටත් සිතූ මව තීරණය කර ඇත්තේ ස්ලෝවැකියානු දේශසීමාව දක්වා තම දරුවා තනිවම පිටත් කිරීමටය.

එහිදී Bratislava හි සිටින සිය ඥාතීන් වෙත දරුවා නිරුපද්‍රිතව යනු ඇති බවට එම මව දැඩි විශ්වාසයකින් සිටියහ.

එහිදී ඇය කුඩා ලියවිල්ලක් ඔහුගේ ඉණේ ගසන අතර දරුවාගේ වම් අතෙහි දුරකථන අංකයක් ද ලියා ඇත.

සිය මවගේ තීරණය අනුව මෙම දරුවා යුද ගිනි දැල් මැද වීර චාරිකාව ආරම්භ කර ඇති අතර ඒ අනුව ඔහු නිරුපද්‍රිතව ස්ලෝවැකියානු දේශ සීමාව වෙත පැමිණි බව ලොවටම අනාවරණය වුයේ ස්වේච්ඡා සේවකයන් විසින් දරුවා තම භාරයට ගත් බවට සමාජ මාධ්‍ය හරහා පලකළ විශේෂ වීඩියෝවකිනි.

මේ අතර ස්ලෝවැකියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම පුංචි වීරයාගේ නිර්භීතකම සහ අධිෂ්ඨානය ඇගයීමට ලක්කර ඇත.

Back to top button